Sunday, August 7, 2011

හෙට...

හෙට... ඔව් හෙට... දින, සති, මාස, අවුරුදු ගෙවිලා එළඹෙන හෙට... ආයෙත් මං තනි වෙන හෙට... අපේ දූවිලි මාළිගයෙන් හිනා රැව් පිළිරැව් දෙන සද්දෙ මැකිලා යන හෙට... ජීවිතේ ආයිත් මේ නපුරු මන්තරකාරිට කොලොප්පම් කරන හෙට... ඇහෙනවද...මකුළුවො බිත්තිවල එල්ලිලා ඔච්චම් කරනවා... එතකොට කැරපොත්තො? එවුන් සාදයක් හෙට ඉදන් අපි හදපු සුරපුරය එවුන්ගේ කියලා... හෙට ඉදලා මේක නපුරු මන්තරකාරියෙක් තනියම ඉන්න පාළු බංගලාවක් වෙනවා...

දෛවය අපිව මුණ ගැස්සුවේ මොන තරම් අහම්බයකින්ද? ඒත් එදා ඉදලා මේ වෙනකන් කොයි තරම් මතකයන් අපේ ජීවිතවලට එකතු වෙලාද? මතකද ඉස්සර අපි දෙන්නම තේ හදන්න දන්නෙ නෑ. මං මුලින්ම අමාරුවෙන් ලොකූ කෝප්පෙකට තේ එකක් හදලා ඔයාට පුංචි කෝප්පෙකට පෙරලා දුන්නා මතකද? ඒකම පෙරලා ඉවර වෙලා තේ එකෙන් බාගයක් මේසෙ උඩ තියෙනවා දැක්කමයි අපි දෙන්නටම මතක් උනේ පුංචි කෝප්පෙ ඉඩ මදි ඒක පෙරන්න කියලා. තවමත් අපේ පුන්චි කාලේ කියලා මුලින්ම මතක් කරන්නෙ ඒක නෙද... ඉස්සර අපි දෙන්නා තේ එකක් හදා ගන්නත් කරන යුද්ධයක්...

ඒ හදා ගන්න තේ එකත් අරන් අපි දෙන්නා සාලේ පුංචි බැම්ම උඩට වෙලා හිනා වෙන එකමයි කරන්නේ. ඉස්සර අපි දෙන්නා කැමතිම තැන ඒ බැම්ම. අපි දෙන්නා කන්නෙත් එතන වාඩි වෙලා. වැඩියෙන්ම එතනට වෙලා කරන්නෙ එදා දවසෙ වෙච්චි දේවල් කිය කියා බඩ අල්ලන් හිනා වෙන එක. එතකොට ඔයාට හරි පුදුමයි මං ගැන. දවල්ට ඉන්න මං නෙවෙයි රෑට ඉන්නෙ, හිනා වෙනවා, හිනා වෙනවා ඉවරයක් නෑ කියලා...

ඊලඟට අපේ මාළිගයට තුන් වෙනියෙකුත් ආව. අපි තුන් දෙනා කොයි තරම් සතුටින් හිටියද? රණ්ඩු උනෙත් නැතුවම නෙවෙයි. තරහා උනත් ඉතින් ආයි චුට්ටකින් ඔක්කොම ඉවරයි. මාළිගේ හිටියා ඇති කියලා හිතුනම අපි තුන් දෙනායනවා වෙන මාළිගා හොයන්න. ඒත් ඒ එකක්වත් අපිට හරි යන්නේ නෑ. මොකාක් හරි ඇදයක් පේනවා. ඉතින් ඔහොම සදහටම අපි මේ මාළිගේමයි.

ඉතින් හෙට? හෙට මොකද වෙන්නෙ? හෙට ඔයාල දෙන්නා මාව තනි කරලා දාලා මාළිගයෙන් යනවා. එතකොට මං තනි වෙනවා. කව්ද මේ මාව දාලා යන්න හදන්නෙ? මගේ රූමො දෙන්නා... ඒ දෙන්නට ගෙදර ඉදලා යන්න එන්න පුළුවන් උනාට ඩොටේ මං කොහේ යන්නද?

ඔය දෙන්නා ගියත් අවුරුදු හතරක මතකයන් නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මොනවා අමතක් උනත් ජීවිතේ මං කඩාගෙනම වැටුන වෙලාවේ, ගෙදර යන්න තරම්වත් සිහියක් නොතිබුන වෙලාවේ ඔයාලා දෙන්නා මාව ගෙදර එක්කගෙන ගිහින් අපේ ගෙදර මාත් එක්ක නැවතිලා හිටියේ පස්සේ දවසේ සබ්මිෂන් එකට මොනවත්ම කරලා නෙවෙයි කියලා අමතක වෙන්නෙ නෑ. ඒ වෙලාවේ ඔයාලා මට මොන තරම් හයියක් උනාද...

මං දන්නවා වෙලාවකට ඔයාලට මාත් එක්ක ඉන්න එක එපාම වෙන්න ඇති. යාළුවන්ට ගොඩාක් ආදරේ කරලා, ලං වෙලා ඉදලා, එයාලා නිසා ගොඩාක් විදවපු මං ඔයාලට වැඩිය ලං උනේ නෑ. ඒත්... මං දන්නවා ඔයාලා මාව තේරුම් ගත්තා.

ඔයාලා මට මං කැමතිම දේවල් තමයි මගේ උපන් දිනයට තෑගි දුන්නෙ...ඒත් ඔයාලා දන්නේ නැ එයින් මං කැමතිම මොකකටද කියලා. මං වැඩියෙන්ම කැමති ඔයාලත් එක්ක හිටිය මුල්ම උපන්දිනේට තෑගි දුන්න හා පැංචාට. එයා තමයි මං ගැන හැමදේම්දන්න කෙනා. එයා හැම වෙලාවෙම කාටවත් නොකියන මගේ දුක අහගෙන හිටියා. මං අඬනකොට මගේ ලඟට වෙලා හිටියා... හෙට ඔයාලා ගියහමත් මට ඇඩෙයි. එතකොටත් එයා මං ලඟට වෙලා ඉදීවි...

24 comments:

විසිතුරු said...

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි......

Anithkona said...

එකට හිටපු අපි කීප දෙනා රස්සාව නිසා තැන් තැන්වලට විසිරෙන්න උනාම අපිටත් ඔහොමම දුකක් දැනුනා. වැඩිය බැඳීම් තියා ගත්තම දුකයි. නමුත් .... බැඳීම් නැතිව ඉන්නත් බෑ.

prasanna86k said...

මලා... දැන් මොකද කරන්නේ...?

Weni said...

ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තරම්...අපි එදිනෙදා ජීවිතයෙ අත්දකින දුකත් නැති තරම්!....එක් වෙන්වීමක දුක කාලය විසින් දිය කර දමන්නටත් පෙර තවත්..තවත්..තවත්..එහෙම කියල ප්‍රියයන් හා එක්වීම අතහැර දමන්නටත් කොහොමවත් බැහැ..

මධුරංග said...

ඔයාලගේ මාලිගාවට කවුරුහරි ගෙන්න ගන්න. තව යාලුවෝ දෙන්නෙක් විතර. එහෙමත් නැත්නම් ඔයත් ඔයාගේ බඩි ටික අස් කරගෙන කොස්සේ නැඟලා වෙන බෝඩිමකට යන්න.

තනියම ඉන්න අමාරුයි නේ. ලෙඩක් දුකක් හැදුනත් තමන් තනියම නේ.

දේව්දාස් said...

මන්තරකාරී - ඔයා දුක් උනාට මම නම් හිතන්නේ ඔයා ඇත්තටම සතුටු වෙන්න ඕනේ... මොකද හොඳ යාලුවෝ හැමෝටම හම්බවෙන්නේ නෑ... ඒ නිසා මන්තරකාරී හරිම වාසනාවන්තයි...

දේව්දාස්

ආගන්තුකයා said...

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...
අද ආගන්තුකයාටත් ඒක හොදින්ම දැනෙන දවසක්..
මන්තරකාරිත් දන්නවා ඇති ඇයි කායලා..
මොනවා කරන්නද.. ඒ වගේ දවසක් අපි හැමෝටම එනවා..

හිතුවක්කාරි said...

අනේ අම්මෝ....එකටම ඉදලා කාලා බීලා...ජීවිතේ බෙදාගෙන උන්නු යාලුවොන්ගෙන් ඈත් වෙන්න වෙනෙකන්ම් මහා පුදුම දුකක්.....
කොහොමත් බැඳීම් තද වෙන තරමට ඈත් වෙද්දි දැනෙන දුක වැඩියිනෙ...මොනා කරන්නද.... හමුවීමක් ඇත්නම් වෙන්වීමකුත් තියෙනවමනෙ...දුක දරගන්න මංතරකාරි...

හිස් අහස said...

දුක දරාගන්න මතරකාරි . මගෙත් එක්ක එකටම සතියට දවස් හයක්ම උදේ හවස හමුවෙලා එකටම වැඩ කරපු මගේ ස්ත්‍ව්ෆ් එකේ සේරමලා එක පාරට අයිං වුණා .. මම තනියම අලුත් අය අතරේ ඉතිරි වුණා මටත් ඔය හැඟීම දැනෙනවා .

Raj said...

ඔව ඔහොම තමා අපේ ජීවිතේ හැටි බොහොඅය එතියති....ඔය ගියාවගේ..තව අය ඔයාට මුන ගැහේයි....එච්චර හිතන්ඩ එපා...බැදීම් දැඩි උන තරමට කලකිරිම් වැඩී...මන්තරකාරී...............

සරත් ලංකාප්‍රිය said...

ජීවිතය කියන්න එක්වීම් සහ වෙන්වීම් කියල කව්වුද කියල තිබ්බ.. මතක සටහන් හිතේ ගුලි කරගෙන අපි යනවා. ජීවිතේදී හමුඋන හොඳම යාලුවෝ අපිට හිමි නැහැ. එකයි සත්‍යය..

නදුන් උයන said...

බෝඩිමේ එකට ඉන්න යාලුවෝ සුමානෙකට ගෙදර ගියහමත් දැනෙන්නේ පාලුවක්....
ඒත් ඉතින් දැන් තියන තාක්ෂණයට පින් සිද්ද වෙන්න යාලු කම් නම් තියාගන්න පුලුවන්
(ගොඩාක් ලඟින්ම නොවුනත් )...

මන්තරකාරි said...

@විසිතුරු : හ්ම්ම්... ඒකනම් ඇත්ත...

මන්තරකාරි said...

@Anithkona: බැදීම් වැඩි උනාම දුක දන්න නිසාමයි වැඩියම ලං වෙන්නෙ නැතුව හිටියේ. ඒත් දැනුත් ගොඩක් දුකයි...

මන්තරකාරි said...

@Gold Fish: දැන් පිරිමි ළමයි ගොඩකට බෝඩිමකුයි අල්ලපු ගෙදර එක ගෑණු ළමයෙකුට බෝඩිමකුයි හොයනවා... දන්න තැනක් තියෙනවනම් කියනවද...

මන්තරකාරි said...

@Weni : ඒක තමයි ජීවිතේ හැටි... ආයෙත්.. ආයෙත්... බැදීම් ජීවිතේට එනවා.... යනවා... සමහරු ලස්සන මතකයන් ඉතිරි කරලා යනවා... සමහරු නෑ...

මන්තරකාරි said...

@මධුරංග : මමත් මේ මාළිගයෙන් යන්න ඉන්නේ... තවම වෙන මාළිගයක් හොයන්න පටන් ගත්තෙ නෑ. ඒත් ඒ මාළිගෙට මාත් එක්ක යන්න කෙනෙක් නෑ... :(

මන්තරකාරි said...

@දේව්දාස් : හ්ම්ම්.. ඒකනම් ඇත්ත... මං වාසනාවන්තයි... ඒකනෙ ඔයාලත් මගේ ලඟ ඉන්නෙ...

මන්තරකාරි said...

@ආගන්තුකයා : මං දන්නවා... ඔයාගෙ අයියලා දෙන්න එයාලගෙ රටට ගියාට සදහටම ඔයාගෙ ජීවිතේ ඉදීවි...

මන්තරකාරි said...

@හිතුවක්කාරි : අපේ හමුවීමෙ වෙන්වීම ආවා... දැන් මහ පුදුම පාලුවක්, දුකක් දැනෙන්නෙ...

මන්තරකාරි said...

@සඳරු : අම්මෝ ඒ අතින් මං වාසනාවන්තයි. තවම යාළුවෝ එකෙක් දෙන්නෙක් හරි දවසට මුන ගැහෙනවා. ඒත් තව ටික දවසකින් ඒකත් නැති වෙනවා

මන්තරකාරි said...

@Raj : බොහෝ අය එති. යති. සමහරු ලස්සන මතකයක් ඉතිරි කර යති. තව හොඳ යාළුවො මුන ගැහෙයි කියලා බලාපොරොත්තු වෙමු...

මන්තරකාරි said...

@සරත් ලංකාප්‍රිය : ඒ සත්‍ය දුකයි. ඒත් මතකය ලස්සනයි...

මන්තරකාරි said...

@නදුන් උයන : දැන් ඉතින් ෆෝන් එකෙයි චැට් එකෙයි පිහිට තමා... :)

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .