Tuesday, June 9, 2015

CourseNet.lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන්න

CourseNet.lk කියන්නෙ ලංකාවෙ තියෙන courses ඔක්කොම එකම තැනකින් බලා ගන්න පුලුවන් site එකක්. විවිධ වයස් සීමාවල සිටින, විවිධ අධ්‍යාපන මට්ටම්වල සිටින ඕනම කෙනෙක්ට විවිධ අධ්‍යාපන ආයතන මගින්, විවිධ category යටතේ පවත්වන විවිධ courses ගැන දැන ගැනීමේ පහසුව CourseNet.lk මගින් ලැබෙනවා.

Courses ගැන වැඩි විස්තර දැන ගන්න CourseNet.lk එකෙන්ම අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙන්නත් පුලුවන්. Phone එකෙනුත් මේ site එක බලන්න පුලුවන්..

CourseNet.lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන ඔබගේ මිතුරු මිතුරියන් දැනුවත් කරන්න.


මේ තියෙන්නෙ HTML code එක...
<a href="http://www.coursenet.lk/" target="_blank"><img alt="Courses In Sri Lanka" src="http://www.coursenet.lk/Content/images/coursenet-badge-si.png" /></a> 

Thursday, February 2, 2012

මූණුපොතේ ශෙයාර්.....

හුදකලා සිත්සතන් එක්කොට
මකා කඳුළැලි සිනා මුසුකොට
බෙදා තොරතුරුත් සිතුවිලිත් එක්කොට
සැනසුව සිත මූණුපොත පෙරදින

උඩින්ම හම ගැසුව පූසෙක්ය
ඊලඟට ගෙල සිදින හරකෙක්ය
පිරී ඇත අසංවේදී රූප සැමතැන
නොසිතාම සංවේදී අයත් ඇතිබව...

මූණුපොතේ දැන් නැති කෙනෙක් නෑනෙ. මූණුපොත තියෙන එකත් කොච්චර දෙයක්ද කියලා හිතෙන්නේ අවුරුදු ගානකින් මුණ නොගැහෙන යාළුවොත් ලං වෙලා ඉන්නේ මූණු පොතෙන් නිසා.

මං මේක ලියන්න හිතුවේ මේ දවස්වල රැල්ලට ශෙයාර් කරන දේවල් නිසා. හිනා යන දේවල්...  සින්දු... වීඩියෝ... ඒ විතරක්ද?? ඇයි අනුවේදනීය දේවල්???

රූපවාහිනියෙන් අනුවේදනීය දෙයක් පෙන්නනකොට සංවේදී සිත් තියෙන අය බලන්න එපා කියලා මුලින්ම කියලනවා. මේල් එකක් ආවත් ගොඩක් වෙලාවට ටයිටල් එකේ හරි මේල් එකේ උඩින් හරි තියෙනවා සංවේදී අය බලන්න එපා කියලා. ඒත් මූණු පොතේ?? කෙලින්ම සංවේදී කට්ටියට බලන්න අමාරු පින්තූරත් ශෙයාර් කරලා තියෙනවා.

එහෙම ශෙයාර් කරන්නේ ඒ දේවල් කරන එකෙන්, සිදු වෙන එකෙන් මිනිස්සුන්ව ඈත් කරන්න ඕන නිසා බව ඇත්ත. ඒ දේවල් නවත්තන්න පුළුවන් විදියට උත්සාහ කරන එක හොඳයි. ඒත් ඒ රූප බලන්න බැරි කොටසකුත් ඉන්නවනම්?? අපි ඒ අය ගැනත් චුට්ටක් හරි හිතන්න ඕන නේද?? හෝම් පේජ් එක පුරවලා සත්තු මරන එව්වයි, හම ගහපු එව්වයි තියෙනකොට සංවේදී හිත් තියෙන අය???



Monday, January 16, 2012

එක්කෙනෙක් හයි වේ එකේ ගිහින්...

ඔන්න ඉතින් එකෝමත් එක කලෙක ළමයෙකුට ආශ්චර්යයේ මාවතේ යන්න හිතුනලු. හැමෝම කියන දක්ෂිණ අධිවේගී මාවතේ ලස්සන, සුන්දරත්වය, වෙනස මොන වගේද කියලා ගිහින්ම බලන්නලු ඕන උනේ.

ඉතින් ඔන්න වැඩේට තව යාළුවෙකුත් එකතු කර ගත්තා. දැන් දෙන්නටම මාර ආසාව හයි වේ එකේ ගිහින් බලන්න.  එහෙමයි කියල ඉතින් එයාට කොයින්ද කාර්... කාර් තිබුනත් කව්ද 100ට යන්නේ. දෙන්නටම ලයිසන් නම් තියෙනවා. ඒත් එක්කෙනෙක්ට යන්න පුළුවන් මැනුවල් විතරයි. ඒකත් ක්ලච් එක පැගුවම අල්ලපු සීට් එකේ ඉන්න එකා ජියර් එක මාරු කරන්න ඕන. අනිත් එකාගෙ උපරිම වේගය 40යි. ඔය ඔක්කොටම වඩා පර්මිෂන් ගන්න එක අමාරුයිනේ.

සියලු කරුණු කාරනා සලකා බැලීමෙන් අනතුරුව දෙන්නත් එක්ක තෝරා ගත්තා පොදු ප්‍රවාහන සේවය. ඒ කිව්වේ හයි වේ බස් එක. ඉතින් ඉරිදා දවසක් බලල සීට් 2කුත් බුක් කරාලු. ඉන්දරේත් කියලා තිබුනනේ හයි වේ බස් එකේ යන විදිය. ඉතින් ඒ විදියටම කරලා කොහොම හරි ඉක්මනට බස් එකට නැගලා හොඳයි කියලා හිතුන තැනකින් වාඩිත් උනාලු. එහෙමයි කියලා නගිද්දි සීට් බුක් කරපු රිසිට් එකනම් චෙක් කරේ නෑ. ඊට පස්සෙ ටිකකින් ඒ ටික එකතු කරගෙන හැමෝම 8ට නේද බුක් කරේ කියලා ඇහුවා.

වාඩි වෙලා ටිකක් ඉන්නකොට තමයි දැක්කේ ඉස්සරහ සීට් එකට දැනටම ගේම දීලා. තමන්ගේ පරම පිවිතුරු ආදරේ ඉස්සරහ සීට් එකේ අකුරු දෙකකින් කුරුටු ගාලා. ඇයි වදේ ඕක ලියන්න අලුත්ම බස් එක ඇරෙන්න වෙන තැනක් තිබුනෙම නැද්ද?

කෝකටත් කියලා සීට් බෙල්ට් එකත් දාගෙන මග දෙපස නරඹනකොට බස් එක ඇතුලේ ටීවී එකේ සින්දු වගයකුත් යනවා. ටිකකින් මේං ඒ මියුසිකල් ෂෝ එකේ කණ පැලෙන්න බීපු ප්‍රසිද්ධ ගායිකාවක් වෙරි මරගාතෙන් කියවනවා. කොයි වෙලාවේ ඒක ඉවර වෙයිද කියලා හිටියේ.

හයි වේ එක බලන්න කියලා ගිහින් බස් එකේ නිදා ගන්නත් බෑනේ. ඉතින් වෙනදට බස් එකට නැග්ග වෙලාවේ ඉදලා නිදා ගන්න අයත් ඇහැරිලාම කොළඹ ගියාලු. ඇත්තටම පින්නදුවේ ඉදලා කොට්ටාවට ගියා දැනුනෙවත් නැතිලු. කොට්ටාවෙ ඉදලා මහරගමට යන ටික තමයිලු දැනුනේ.

මහරගමින් බහින්න කලින්ම කොන්දගෙන් ඇහුවලු යන්න බස් එක බුක් කරන්නේ කොහෙන්ද කියලා. කොන්දා කිව්වේ බෝ ගහ යට කියලලු බුක් කරන තැන තියෙන්නේ. අනේ ඉතින් මේ දෙන්නා දන්න මහරහම බෝ ගස්... ඉතින් බැහැලා ටිකක් යනකොට බෝ ගහක් තියෙනවලු. 3-4 සැරයක් බෝ ගහ වටේ ගියත් තියෙන්නේ ෂර්ට් තියෙන පේමන්ට් කඩයක් විතරයි. යාළුවෙක්ට කෝල් කරලා ඇහුවමත් මහරගම තියෙන්නේ එක බෝ ගහලු. කෝකටත් කියලා තව ටිකක් යනකොට් අර පේන්නේ ඈත දිලිසි දිලිසි කොල තියෙන බෝ ගහක්. ගිහින් සීට් බුක් කරන්න බලනකොට හතරෙ බස් එකේ සීට් ඉවරයිලු. පහේ
බස් එකේ සීට් පහක් තිබුනාලු. ඒකනම් සීට් අංකෙත් එක්කම දාලා දුන්නාලු. 

එක්කෙනෙක්ටනම් ඕන උනේ මදි නොකියන්න ෂොපින් කරන්නලු. ඒත් ටිකක් ඇවිදලා අනිත් එක්කෙනාගේ මාමලාගේ ගෙදර ගියාලු. ඊට පස්සේ ඉස්සරහම සීට් එකේ වාඩි වෙලා පාර බලාගෙන එන්න හීන බලපු දෙන්නා සීට් අංකේ විදියට පිටිපස්සෙම සීට් එකෙන් වාඩි වෙලා ආයිමත් පාර බල බලා ආවලු. ඒත් සීට් බෙල්ට් එකනම් කැඩිලලු තිබුනේ. 5.20ට කොට්ටාවෙන් හයි වේ එකට ඇතුල් උන බස් එක 6.25ට පින්නදූවට ආවාලු. හැබැයි මහරගම ඉදලා ගාල්ලටම එන්න පැය 1යි විනාඩි 41ක් ගියාලු. ඉතින් ඔන්න ඔහොමයිලු ඒ දෙන්නා හයි වේ එකේ ගියේ... වැඩේ නරකම නෑලු. ආයිමත් දවසක යන්නලු හිතාගෙන ඉන්නේ...

Thursday, January 5, 2012

අඳුරු තිමිර පට...


අඳුරු තිමිර පට
සඳ මඬල වසා පැතිරුන…
සමනල සිහින තටු සිඳුව…
හඬා නුහුරු දෑසට
හඬන්නට පුරුදු කළ…
අඳුරු තිමිර පට පහව…
ගෙන ගිය සිනහ
ආයෙ මතක් වූ දින…
ඇවිදින් තිබුනි අමාවක
සඳ මඬළ බැස ගිය...

Tuesday, January 3, 2012

සුභ පතන්න... හදවතින්ම...


අලුත් අවුරුද්දකුත් ආවා. ඒත් එක්කම තව ගොඩාක් දේවල් එනවනේ. මොනවද ඒ? මැසේජ් ගොඩකුයි, calls ටිකකුයි, මූණු පොතේ tag කරලා notifications ටිකකුයි. ඇත්තටම සුභ පැතුමක් ලැබෙන එකත් කොයි තරම් නම් සතුටක්ද? කවදාවත් කතා කරපු නැති අයත් සුභ පතනවා. තව සමහරුන්ට අමතක වෙනවා.

අවුරුද්දට විතරක්ද? ඇයි උපන්දිනයට. උපන් දිනයට සුභ පතන්න සකර්බර්ග් අයියා කොයි තරම් නම් උදව් කරනවද? මුලින්ම සතිය පටන් ගන්නකොටම mail එකක් එවනවා ඔන්න මේ සතියේ මේ මේ අයගේ උපන් දින තියෙනවා, එයාලට උපන්දින සමරන්න උදව් කරන්න කියලා. ඒලඟට උපන්දිනේ දවසට තෑගි පෙට්ටියක රූපෙකුත් දාලා 'Mantharakari's birthday is today' කියලත් කියනවනේ. මෙන්න මේ අය මෙයාට සුභ පැතුවා කියල home page එකෙත් කියනවනේ. සකර්බර්ග් අයියා මේ කොහේවත් ඉන්න අපේ උපන්දිනේට එච්චර දේවල් කරද්දිත් හොඳම යාලුවෙක් ඒක අමතක කරනවානම්...

හරි එදාට මූණු පොතට ගියේ නෑ කියමු. ඒත් දැන් කාලෙ ෆෝන්වල ඕක දාගන්න පුලුවන්නෙ මතක් වෙන්න. ඔය මොනවා නැතත් හත්තිලව්වේ තමන්ගේ හොඳම යාළුවෙක්ගේ උපන්දිනයක් අමතක කරනවද? ඒකත් කාටවත්ම අමතක වෙන්නේ නැති විශේෂ දවසක තියෙන? එව්වා කොහේද මාත් එක්ක? කෝ මේ වෙනදට රෑ දොළහට සුභ පතන එකී? මංම ගත්ත කෝල් එකක්.


"හෙලෝ"
"හෙලෝ, කොහෙද ඉන්නෙ?"
"මං මේ නුවර එළියේ"
"ඇයි ඒ?"
"වැඩකට ආවා"
"ඔයා හොඳින් නේද?"
"ඔව්, ඇයි එහෙම ඇහුවේ?"
"මං මේ බැලුවා ඇයි කවදාවත් නැතුව මගේ birthday එක අමතක වෙලා කියලා"
"..."
"..."

හරි එකෙක් ඉවරයි. ඔය තියෙන්නේ සුභ පැතුම්නේ. මොකටද නිකන් හිත හිතා දුක් වෙන්නේ. කතා කරලම බැලුවම ඉවරනේ එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා. තව එක්කෙනෙක් ඉන්නවා, කතා කරනවද නැද්ද...

පුංචි එවුන් පාට පාට බැලුම් බෝල එල්ලපු, තෑගි ගොඩාක් තියෙන උපන්දිනයකට ආසයි වගේ මගේ හිත මේ තරම් සුභ පැතුම්වලට ලෝභ වෙන්නේ ඇයි? සමහරවිට මගේ හිතේ ජීවත් වෙන අයගෙ හිතෙත් මටත් ඇබින්දං ඉඩක් හරි තියෙනවා කියලා දැනෙන එක මහා මෙරක් තරම් නිසා වෙන්නැති. ඒ දේ දැනෙන්න තියෙන එකම දවස උපන් දිනය නිසා වෙන්නැති. සැරෙන් සැරේට ෆෝන් එක මුර ගාද්දි, ටිකෙන් ටික වෝල් එක පිරෙද්දි මහා ලොකු සතුටකුත් එක්කම හිතේ කොණක පුංචි දුකක් ඉතිරි වෙලා...

"නෑ... මං මෙහෙම ලෝභ වෙන්න හොඳ නෑ...." මොන තරම් මං මටම කියා ගත්තත් හිත හොරෙන්ම දුක් වෙනවා. ඒත් එකම එක මැසේජ් එකක් ඇරෙන්න වෙන මොනවත්ම බලාපොරොත්තු නොවෙන කෙනෙකුට ඒකත් නොලැබෙනවනම්... අඳුරු බංගලාවක දුක හංගලා ලෝකෙට හිනා වෙලා ඉන්න නපුරු මන්තරකාරියෙක්ට පුංචි මැසේජ් එකක් යවනවට වඩා වැදගත් වැඩ ගොඩාරියක් තියෙනවා වෙන්ටැති. ඒත් තමන්ගේ හිතේ පුංචි හරි ඉඩක් ඒ කෙනාට තියෙනවනම් මොන වැඩක් තිබුනත් තමන්ගේ හොඳම යාළුවෙක්ගේ උපන් දිනයක් අමතක වෙනවද? මගේ ආසාව ආත්මාර්ථකාමී වෙන්න ඇති. ඒත් මං ආසයි මගේ උපන්දිනේට පුංචි සුභ පැතුමක් එවනවනම්... ඒ නිසාම මං ඉතිරි කෙනාටත් මතක් කරවලා wish කරවා ගත්තා... හී හී....

ඒත් බලෙන් කියලා සුභ පැතීමක් ගත්තට ඇත්තටම වැඩක් තියෙනවද? නෑ. සුභ පැතීමක් කියන්නේ පුංචි කෙටි පණිවිඩයකට නෙවෙයි. සුභ පැතුමක් පටන් ගන්නේ හදවතින්ම. හදවතේ පුංචි ඉඩක් හරි තියෙනවනම්, එයා සුදුද, කළුද, උසද, මිටිද, ලස්සනද, කැතද කියන එක හිතන්න ඕනද පුංචි සුභ පැතුමක් යවන්න... එයා ඔයාගේ කරදරකාරම යාළුවා වෙන්නත් පුළුවන්; ඔයා අකමැතිම යාළුවා වෙන්නත් පුළුවන්. එයා සුභ පැතුම්වලට කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. ඒත් සුභ පතන්න... හදවතින්ම... මොකද ඒක එයාගේ මූණේ හිනාවක් මවනවා වෙන්නත් පුළුවන්...

wish කරන එකත් එක එක විදියට කරන්න පුළුවන්. දැන්කාලේ ගොඩාක් වියදම් කරලා කාඩ් අරන් යවනවා අඩුයිනේ. හැමෝම වැඩියෙන්ම කරන්නේ කවුරුහරි එවපු මැසේජ් එකක් forward කරන එක තමයි. ඒත් මතක තියා ගන්න ඕන ඒක සම්පූර්ණයෙන්ම කියවලා යවන්න. මොකද අන්තිමට එවපු කෙනාගේ නම තිබුනොත් කැතයිනෙ. මැසේජ් එකක් එවපු කෙනාටම forward කරත් කැතයි. 


වැරදිලාවත් wish කරන්න අමතක උනා කියමු. එතකොට මෝඩයෙක් වගේ 'වැඩ තිබුන නිසා අමතක උනා' කියලනම් කවදාවත් කියන්න එපා. ඊට වඩා හොඳයි wish නොකරම ඉන්න එක. මොකද කව්ද කැමති තමන්ට තියෙන්නේ අඩු ප්‍රමුඛතාවයක් කියලා අහ ගන්න. ඒ වගේ වෙලාවට තියෙන්නේ "....I wanted to be the last ..." වගේ කතාවක් දාලා shape වෙන්න. හැබැයි වැරදිලාවත් පෙම්වතියගේ හෝ පෙම්වතාගේ උපන්දිනය අමතක උනොත්නම් ඒ බයිලා හරි යන්නේ නෑ. විශේෂයෙන් පෙම්වතියගේ උපන්දිනය අමතක උනොත්නම් වැඩේ භයානකයි. එතකොට සුනාමියක් ඇවිල්ලයි නවතින්නේ. ඒ වගේ වෙලාවට කරන්න තියෙන්නේ එයාව සර්ප්‍රයිස් කරන්න හිටියා වගේ හොරෙන්ම මොකක් හරි මැටි වැඩක් සෙට් කරන එක..

ඉතින් reminder තියෙන mobiles තියෙන ලෝකේ මැසේජ් එකක්වත් forward කරන්නෙ නෑ කියන්නේ නම් මහා ආත්මාර්ථකාමී කමක්. මන්තරකාරි වගේ හැමෝම කතා කරලා wish කරවා ගන්නෙත් නෑනෙ. ඒ නිසා සැලකිලිමත් වෙන්න ඔබේ බැදීම් ගැන. සුභ පතන්න... හදවතින්ම....

ප.ලි. අද මගේ උපන් දිනේ නෙවෙයි. ටයිප් කරන්න කම්මැලි නිසා අදයි ලියලා ඉවර කරේ...

ප.ප.ලි. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Monday, December 26, 2011

ගොඩයා අයියා, හිච්චි මගේ යාළුවා...

යාළුවෝ... ජීවිතේට කොයි තරම් නම් යාළුවෝ එනවා යනවාද? පුංචි කාලෙන් පටන් ගත්තොත් ඕනම කෙනෙක්ගෙ මුල්ම යාළුවෝ වෙන්නේ අම්මයි තාත්තයිලු... ඊට පස්සේ?? ඊට පස්සේ අත්තම්මලා, සීයලා, නැන්දලා, මාමාලා, බාප්පලා, පුංචි අම්මලා, එයාලගේ ළමයි... කොයි තරම් කට්ටිය ජීවිතේට එනවද? ඒ අපිට ලං වෙන නෑදෑයෝ.. ඒ ඇරෙන්න? ඒ ඇරෙන්න තවත් කට්ටියක් අපේ ජීවිතවලට ලං වෙනවා. ඒ තමයි අපේ අම්මලා තාත්තලාගේ යාළුවෝ. ඉතින් පුංචිම පුංචි සන්ධියේදි අපිට පවුලෙන් පිට මුණ ගැහෙන මුල්ම යාළුවෝ වෙන්නේ අම්මගෙයි තාත්තගෙයි යාළුවන්ගෙ ළමයි...

ඉතින් ඔන්න ඔය වගේ හිච්චි සන්ධියේදි මටත් හිටියා අම්මගේ යාළුවන්ගෙ ළමයි යාළුවෝ රෑණක්. අක්කලා අයියලා වෙච්චි ඒ හැමෝගෙන්ම පුංචිම එකී වුනේ මම. පුංචි පුංචි එවුන් ගොන්නක් එකතු උනාම කොයි තරම් ලස්සනද, අන්න ඒ ලස්සන, සතුට, මිහිරියාව අපේ ජීවිතේවලත් පිරිලා තිබුනා.  ඉතින් ඒ දවස්වල අම්මගේ යාලුවන්ව අඳුන්වන්නෙත් ඒ ගෙවල්වල තියෙන සෙල්ලම් බඩුවලින්. චකබ්ලාස් එක තියෙන ගෙදර, පුංචි බෙර තියෙන ගෙදර ඒ වගෙ නම් ටිකක්. ඔය පුංචි බෙර තියෙන ගෙදර ගිහින් ඒ ගෙදර අක්කයි, අයියයි, අපේ අයියයි, මමයි බෙර ගහ ගහ ගේ වටේ පෙරහැරවල් යනවා මට තවම මැවිලා පේනවා. 


ගොඩවත්ත අයියත් ඒ විදියට යාළුවෙක් උන අපේ අම්මගේ හොඳම යාළුවෙක් ඇන්ටි කෙනෙක්ගෙ පුතෙක්. ඒ හිතවත්කම නිසාමයි ටියුෂන් නොකරන අපේ අම්මා ගොඩවත්ත අය්යට සිංහල උගන්නන්න  භාර ගත්තේ. මට වඩා අවුරුදු ගණනක් වැඩිමල් ගොඩවත්ත අයියාට හිටියේ එකම එක අයියෙක් විතරයි. පුංචි දගකාරි වෙච්චි මං ගොඩවත්ත අයියා ආවම "ගොඩයා! ගොඩයා!!" කිය කියා කී ගහ ගහ දුවනවා; පාඩම් මේසේ ලඟට වෙලා වද දිදී ඉන්නවා. නංගිලා නැති නිසාද මංදා මං මොනවා කරත් අයියා මට කවදාවත් සැර කරේ නෑ. ඒ උනාට අයියත් හරිම දඟයා. අපේ අම්මා හරිම අමාරුවෙන් තමයි අයියාව හොයාගෙන පාඩම කියලා දෙන්නේ. අපේ ගෙදර ආව ගමන් ගොඩයා අයියා කරන්නේ වත්තේ කොණේ තියෙන නමිනං ගහ ලඟට දුවන එක. ඒකේ ගෙඩි ටිකත් කඩාගෙන ඊලඟට දුවනවා කුඹුරට. එහෙමත් නැත්නම් ඇල ලඟට. වැඩිමනත් කුඹුරට දුවන්නේ තණකොල කරල් කඩන්න. ඒ ගොඩයා අයියා ඇති කරන පාට පාට ලව් බර්ඩ්ස්ලට. ඉතින් සමහර දවසට අපේ අයියයි මමයිත් එකතු වෙලා බජිරි මිටියක් කඩලා දෙනවා ගෙනියන්න. ඉස්සර අපි එහේ යන්නෙම ගොඩයා අයියා ඇති කරන කුරුල්ලොයි, මාළුයි බලන්න.

ඔන්න ඔය වගේ මං නිසා ඇති වෙන බොහොම දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගෙන ගොඩයා අයියා සිංහලවලට "D" 1කුත් ගත්තා මයේ හිතේ. කොහොමත් මං දන්න විදියට ගොඩයා අයියා හරි දස්සයා. චූටි කාලේ අපි එහේ ගියහම උල් සපත්තු කුට්ටමකුත් තිබුනා මට මතකයි. ඔන්න ඔය විදියට කාලය ගෙවිලා ගියා. කොයි තරම් ලොකු උනත් ගොඩයා අයියා අපේ ගෙදර ආව හැම දවසකම මුලින්ම නමිනං ගහ ලඟට යන්නනම් අමතක කරේ නෑ. මට හොඳටම මතකයි මං අන්තිමටම ගොඩයා අයියාට "ගොඩයා" කියලා කෑ ගැහුවේ මං 8 වසරේ ඉන්දැද්දි. එතකොටනම් ගොඩයා අයියා ලොකුම ලොකුයි. ඒත් එදාත් කරේ හිනා උන එක විතරමයි.

දවසක් මං ඉස්කෝලෙ ගිහින් බස් එකෙන් එනකොට ඒ බස් එකේම ගොඩයා අයියා හිටියා. මං ඉස්සර සුදු ගවුමෙන් ඉන්නකොට හරිම බයයි. ඉතින් මට බය හිතුනා මං ගොඩයා අයියා එක්ක කතා කරොත් කවුරු හරි වැරදියට හිතයි කියලා. ඉතින් මං කරේ ඒ පැත්ත නොබලාම හිටිය එක. මට හිතුනා ගොඩයා අයියා තරහා වෙයි කියලා. ඒත් මගේ බය ඊට වඩා වැඩියි. අඩුම තරමේ මං හිනා උනේවත් නෑ.

තවත් අවුරුදු කිහිපයක් ගෙවිලා ගියා. ඒ වෙනකොට මං උසස් පෙළ පන්තිවල. ගොඩයා අයියා කොළඹ රස්සාවක.  දවස හරියටම කියනවනම් මීට අවුරුදු හතකට කලින් අද වගේ දවස. ඒ කිව්වේ 2004 දෙසැම්බර් 26. අපේ පවුලේ හැමෝම සංගාට පින් සිද්ධ වෙන්න බේරුනා කියලා මං කලින් දවසක් කිව්වනේ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා සැනසුම් සුසුම් හෙලද්දී පහුවදා දුරකතන ඇමතුමක් ආවා.
සුනාමිය මගේ ජීවිතෙන් මගේම සහෝදරයෙක් වගේ හිටිය ගොඩයා අයියව උදුරගෙන. නපුරු මුහුද ඒ තරම් දක්ෂ, ඒ තරම් හයිය හත්තිය තිබුන ගොඩයා අයියට බේරෙන්න ඉඩ දීලා නෑ. ගෙදර නොඑන්නත් ඉදලා අවාසනාවට ආයෙම අයියාට ගෙදර එන්න හිතිලා. හිනා වෙවී ගෙදර එන්න කොච්චියට නැගපු ගොඩයා අයියා ගෙදර ඇවේ හැමෝමව අඬවමින්. මට පුදුම දුකක් දැනුනේ. ඒ තරම් ලෙංගතුකමක්, සහෝදරත්වයක් මගේ හිතේ තිබුනා කියලා මංවත් දැනගෙන හිටියේ නෑ.

අපරාදේ හොඳ දරුවා කියලා හැමෝඅම දුක් උනා. ඒ තරමට ගොඩයා අයියා හැමෝගෙම හිත් දිනාගෙන හිටියා. ගොඩයා අයියා අපිව දාලා ගිහින් දවස් කීපෙකින් අපේ ගෙදර තිබුන නමිනං ගහත් මැරුනේ අයියා ආයෙත් නො එන දුකට වගේ.

අවුරුදු හතක් ගෙවිලා ගිහින්. ඒත් ගොඩයා අයියගේ මතකය තවමත් මගේ හිතේ තියෙනවා. මතු භවයෙදි ආයේ කවදාවත් ගොඩයා අයියාට මේ වගේ අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා...

අයියේ ඔබට නිවන් සුව!

ප.ලි: නම පමණක් මනංකල්පිතයි.

Thursday, December 22, 2011

කලකට පස්සේ... ෂ්ෂ්ෂ්...

කොහොමද ඉතින් කලකට පස්සේ... කට්ටියට දැන් මන්තරකාරි මතකත් නැතිව ඇති. මා ඉතින් යන්න යනවා කිව්වා වගේම මා ගියා වගේ උනා නොවැ. මන්තරකාරිට මොනවා උනාද කියලත් හිතනවා ඇති. මන්තරකාරිට වැඩ ගොඩාක් තිබුනේ නෑ. අලුතෙන් කැම්පස් ගියේ නෑ. එක්සෑම් තිබුනේ නෑ. අලුත් රස්සාවකට ගියේ නෑ. ලෙඩ උනේ නෑ. එතකොට මන්තරකාරිට මොකද උනේ???

මේකනේ කේස් එක... මන්තරකාරි ඉතින් කැලයක් මැද පාළු බංගලාවක හැංගිලානේ ඉන්නේ. ඒ ඉතින් කවුරුත් මන්තරකාරි කව්ද කියලා දැන ගන්නවට කැමති නැති නිසා. මන්තරකාරි කව්ද කියලා කට්ටිය දැන ගත්තම මන්තරකාරිට ලියන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ. එහෙව් මන්තරකාරි කව්ද කියලා හොයන්න කට්ටිය විදින දුක දැක්කම ලියන්න කම්මැලි හිතුනා. නපුරු මන්තරකාරියෙකුටත් බය නැති හැටි... මේ වගේ වැදගත් ලස්සන නමක් අත ඇරලා වෙන නමකින් ලියන්න හිතුනෙත් නෑ. ඉතින් ඔන්න ඕකයි මන්තරකාරි අතුරුදන් උනේ...


දැන් ලෝකයා හිනා වෙනවත් ඇති මොකටද මෙච්චර හැංගෙන්නේ කියලා. එහෙම තමයි වැදගත් කට්ටිය. ඒත් මං ඇයි එක්කෙනෙක් නිසා ලියන එක නවත්තන්නේ... මං ආයිත් ලියනවා. ඔන්න මන්තරකාරි කව්ද කියලා උපකල්පනය කරපු, හොයා ගනිපු කවුරුත් කාටවත් කියන්න ඔට්ටු නෑ හරිද??? ප්‍රොමිස්???


 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .