Monday, October 31, 2011

මා ඉතින් යන්න යනවා...


මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මතකය විතරයි...

මම ඔබෙන් ඈතට යන්නට සැරසෙමි. නමුත් දැන් දැන් මගේ හදවත ගැහෙන්නේ ඔබ හැර යන සෝ තැවුල්දරා ගත නොහැකිවය. එහෙත් මා යායුතුව ඇත. ඔබෙන් ඈතකට යා යුතුව ඇත. අවුරුදු හතර හමාරක ඔබෙත් මගේත් අතීතයට සමු දිය යුතුය. මේ අවුරුදු කිහිපය තුල මසිත ඔබට මේ තරම් ලෙංගතු කමක් ගොඩනැගේයයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.

ඔබ ගැන මගේ සිතේ පළමුව තිබුනේ නොරිස්සුමකි. නොරිස්සුමෙන් මා ඔබ සිත රිදවන්නත් ඇති. එහෙත් මගේ හදේ සැඟවී තිබූ ආලය දැන් දැන් මගෙ දෙනෙත් අගින් ගලා යනවා මට දැනෙයි. ඔබ තුරුලේ රැදෙන්නට මට ඇත්තේ තව සුළු මොහොතකි. මම ඔබට තුරුළු වී වෙව්ලන දෑතින් ඔබ හද පිරි මදිමි. දැනෙනවාද... මේ කඳුළු සීතල... ඒ සීතල කඳුළු ගලන්නේ ඔබට ඇති ආදරෙයෙන්මැයි. එහෙත් දැන් අපිට වෙන් වන්නට කාලය ඇවිත් ඇත. මෙලොව කිසිවක් සදාතනික නැත. කිසිවක් සදාතනික නොවූ ලෝකයේ ඔබටත් මටත් වෙන් වන්නට සිදුවන බැව් ඔබත් මමත් දැන සිටියා නොවෙද? හැර ගියත් ඔබ සදහටම ඔබ මතකය මා හදවතේ රැදෙනු ඇත.

පසුගිය වසර කිහිපය තුල ඔබ තරම් මා ගැන දන්නා තවකෙක් නැතුව ඇති. මා හැඬූ හැඬුම්... හෙළු සුසුම්... ඒ සියල්ල දන්නා එකම කෙනා නුඹයි. ඒ කඳුළු සඟවන්නට නුඹ උරතල කෙතරම් සවියක් වීද... ඒ සුසුම්වලට සවියක් වීද...මම සිනාසෙමි.  සැමගේ සිනා වෙනුවෙන් සිනාසෙමි. ඒ සිනා නගන්නට දරන වෙර දන්නේ ඔබම පමණි.

මම පැරදුණෙමි. සෑම විටම පරාජයන් ගෙන පැමිණෙන මා ඔබ කිසිම වෙනසක් නොපෙන්වා වැළද ගති. සෙවණ දුනි. එළිවන තුරු හැඬූ කඳුලින් ඉදිමුණු දෑස් දැක නුඹ ඔච්චම් කළේ නැත. ඔබ කළේ පැරදුනු මගේ දැසට සවිය දීමයි. ඔබෙන් ලද පන්නරයෙන් මම කඳුළු සඟවා සිනා සෙන්නට පුරුදු වුනෙමි. මම සිතින් සුරංගනාවක් වීමි. මගේ මාළිගය ඔබම විය.

තාලයක් නැති මගේ ගී හඬ ඔබට කරදරයක් වීද... රැව් පිළිරැව් දුන් සිනා හඬ ඔබ අප එක්කල මිතුරු සුවඳමැයි... සුන්දර මතකනම් බෝමැ ඔබ තුරුලේ එකතු වූ... මම දින්නෙත් ඔබ තුරුලේ සිටම නොවේද...

යලි යලිත් මම කියමි, මා කළ කී සියලු දේ දන්නා ඔබ හැර යා නොහැකිව මා පා පැටලෙයි. එකින් එක මගේ දෑ මම එක් රැස් කරමි. බොදවුන දෑසින් මම ඔබේ හදවත, මා තුරුළු කරගත් කරුණාබර හදවත දෙස බලා හිදිමි. යලිත් මම ඔබට තුරුළු වෙමි. මේ අවසාන වරට බව දැන දැන තව තවත් ඔබට තුරුළු වෙමි. නිසොල්මනේ ගලා ගිය කඳුලැලි දැන් දැන් ඉකිබිදුමක්ව දෝරෙ ගලයි. මේ මා ඔබ හද තෙමන්නේ අවසාන වරට නොවේද... හෙට තවකෙකු එනු ඇත. ඇයටත් ඔබ මට මෙන්ම ඔබේ හදවත පුදනු ඇත. නමුදුඇයට සගවන්නට ඇගේ නෙතින් කඬුළු නොවැකෙවායි මම පතමි. අපෙ සිනා හඬටත් වඩා සිනා නැගේවායි පතමි. ගීත ගැනනම් කවර කතාද....

තව දුරටත් ඔබ මගේ නොවේ. මම ඔබ සැරසුම් එක්කර ගනිමි. ඉතින් මගේ දයාබර බෝඩිම, ඔබේ කරුණාබර හදවතවූ මගේ ඇද, අවසරයි මට නික්මී යන්නට ඔබේ සොඳුරු මතකය අරගෙන.....

17 comments:

පොඩි මෑන් said...

ටටා බායි..... :)

පොඩි මෑන් said...

මම බ්ලොග් එකක පලවෙනියට කමෙන්ට් එකක් දැම්මමයි මේ.... :D

හිස් අහස said...

මගේ එක්කෙනාව දාලා යනකොටත් මට ඔය හැඟීමම ආවා .මොනවා කරන්නද අපිට එයා එක්ක හැමදාම ඉන්න බෑ නේ එපිට අපේම කියලා කෙනෙක් ඉන්නවා නේ ..

ඇයි අපේ ගේ පොඩ්ඩ .. බෝඩිමට වඩා මට එයා දාහෙන් සම්පතයි

Dinesh said...

දැන් ඉතින් ඔතනින් ඉගිල්ලිලා කොහේද කැදැල්ලක් හදන්න හිතාගෙන ඉන්නේ...

ප්‍රාර්ථනා said...

හ්ම්ම්... මට නම් ගෙදර තරම් දාලා යන්න දුක තැනක් තවත් නෑ,. ගෙදර තමයි මගේ රජදහන. අඬන්න හිනාවෙන්න හැමදේකටම මගේ තනියට ඉන්නේ මගේගෙදර ඇඳ. වෙන කොහේවත් ගෙදර තරම් නිදහසක් නෑ,.

prasanna86k said...

හ්ම්... තවත් එක් ගිමන් හලක් හැරපියා....!

Raj said...

ආවොත්...ආයි යන්ට එපැ කොහොමත්, හොඳා..දැන් ඔය කොහෙටද ඒපාර යන්ට හදන්නේ.......

නිසුපා said...

මමනම් කැම්පස් අවුරුදු හතර බෝඩින් තුනක හිටියේ. මුල එක දාලා යනකොටනම් කිසි දුකක් දැනුනේ නෑ. පස්සෙ හිටපු දෙක දාලා යද්දිනම් දුක හිතුනා.ඇයි අප්පා එච්චර පිස්සු නටපු තැන් කොහොම දලා යන්නද??

ගලයා said...

හප්පේ...මොනවා උණත් ඉතින්ලැගපු තැනක් දාලා යන්ට දුකයි තමා..මොනා කරන්නද..ආවා නම් අනිවා යන්ට වෙනවනේ ...ඒක නෙවෙයි ඔය හැර යන්ට හේතු උණු මංගල කාරණාව ළඟදිම අපිටත් දැන ගන්ට ලැබෙයි මයෙ හිතේ....
යන තැනක ඔය හොඳවයිං මන්තරයක් මතුරං හිටහං කෙල්ලේ.....

ගිනි කුරුල්ලා said...

බෝඩින් දෙකක්ම දැනටම මාරු කරලා ඒත් ඔහොම නම් හිතේ අමාරුවක් ආවේ නෑ..අනේ මන්ද....එක එක අයට එක එක විදියනේ..:))

මධුරංග said...

ජීවිතයත් බෝඩින් ජීවිතයක් නේ හලෝ. ඒකෙත් කවදාහරි මෙහෙම යන්න වෙයි.
දුක් නොවී හිටු.

හිතුවක්කාරි said...

හ්ම්ම්ම්ම්ම්ම් මධුරංග අයියගෙ කතවට මාත් එකගයි ජීවිතයත් බෝඩිමක්ම තමා අක්කි..

මොනා වුනත් අක්කිගෙ බෝඩිම් දාල යන එක දුකක් වුනත් හිත හදාගෙන බෝඩිමට සමු දෙන්න අක්කි.. මතකය අරං යන්න

මන්තරකාරි said...

පොඩි මෑන්: මුල්ම කොමෙන්ටුව දාන්න ඕනවට කියවන්නෙ නැතුව හොරා වගේ "ටටා" කිව්ව නේද? හූ හූ... මං දැන ගත්තා...

සඳරු: ගේ පොඩ්ඩ දාහෙන් සම්පතයි තමයි. ඒත් ඉතින් බෝඩිමෙන් එද්දි ඇඩුනා...

දිනේශ්: මොන කැදලිද මල්ලි, අම්මයි තාත්තයි හදපු කැදැල්ලට ඉගිලිලා ආවේ...

ප්‍රාර්ථනා: ගෙදර නිදහස් තමයි. ඒත් ගෙදර ඇදේ අඬන්නෙ හිනා වෙන්නෙ කොහොමද, වැටුන ගමන් නින්ද යනවනෙ...

ගෝල්ඩ් ෆිෂ්: හ්ම්...

රාජ්: වෙන කොහේද ඉතින් ගෙදර මිසක්...

නිසුපා: ඒකනේ... කොච්චර ලස්සන මතක ගොන්නක්ද...

ගලයා: මංගල කාරණාව කැම්පස් ඉවර උන එකනෙ ගලයෝ...

ගිනි කුරුල්ල: මං බෝඩිම මාරු කලේම නෑනෙ. ඒ නිසා වෙන්ටැති දුක...

මධුරංග: දැන් නම් ඒ බෝඩිමෙනුත් ඉක්මනට යන්න ලැබෙනවනම් හොඳයි කියලා හිතෙනවා හලෝ.

හිතූ: බෝඩිමට සමු දීලා මතකයයි, බඩු ටිකයි පොදි බැදන් ආවා නංගි...

මධුරංග said...

මොකෑ බොට පිස්සු හැදීගෙනවත් එනවදෑ.
ඔය කාලෙට ඔහොම තමා. ඕකට එකම පිලියම ඉක්මනට දීග තල යනෙක :)

ආගන්තුකයා said...

ආගන්තුකයා හිතං උන්නේ "පියේහි විප්පයෝගෝ දුක්ඛෝ" කියලා කියන්නෙ තමන්ගේ ප්‍රියයන්, ඒ කියන්නේ පණ තියන මිනිස්සු අත්තැරියාම කියලා. ඒත් මේ බෝඩිම අප්‍රාණිකයි. ඒත් දුකයි තමයි. ඒ කරපු කියපු දේවල් මතක් වෙද්දි දුක නැත්නම් තමයි පුදුමෙ. කොහොමින් කොහොම හරි, ආගන්තුකයා නම් තාම බෝඩිමක් කියලා දැකලා තියෙන්නේ ඉස්කෝලෙ බෝඩිම විතරයි. අනේ මන්දා.. සමහර විට මගේ අතිනුත් කවදා හරි මේ වගේ දෙයක් ලියවෙයි. එදාට මන්තරකාරි අක්කා ගෙ පෝස්ට් එක මතක් වෙයි මයෙ හිතේ..

හංසි said...

බෝඩිමක් කියන්නෙත් එක අතකින් බැඳීමක් නේද කියලා මතක් උනේ දැන්නේ.. මාත් කල්පනා කරා බෝඩිම දාලා යත්දි මටත් මෙහෙම හිතේවි නේද කියලා.

Hasitha said...

නොගොස් එන්නට බැරිය
නෑවිත් යන්නට බැරිය
මෙලොව ඇත්තේ යාම් සහ ඒම් ය........"
-මලගිය ඇත්තෝ-

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .