Thursday, June 30, 2011

මතක මංපෙත - 9

'නාදුනන රටක රෝහල් ඇදක් මත ඔහු විදවන්නේ තමා නිසා නොවේද...' තරූගේ සිතට මහත් බරක් එක් වුනි.

දිනෙන් දින හිතට එකතුවන බර මෙපමණෙකැයි කිව නොහැකි තරමට තරූ හිතින් විදෙව්වාය. කිසි දිනෙක දැක නැති තරිඳු අයියා හිතෙන් මවා ගන්නට තැත් කළාය. ආදරයක්ද අනුකම්පාවක්දැයි වටහා ගත නොහැකි යම්කිසිවක් ඇගේ සිත තුල තෙරපුණි. කෙසේ නමුත් ඔහු ඇගේ සිහින කුමරු බවට පත් වී සිටියේය. එහෙත් ඒබවක් ඇය කිසිවෙකුට නොඇඟවූවාය. වරෙක ඇය ඔහුගෙන් ගැලවීමට ක්‍රම විදි සෙව්වාය.

"සඳුනී = තරූගේ සහෝදරිය ->1
සඳුනී = තරිඳුගේ සහෝදරිය -> 2
1 හා 2න්
තරූ= තරිඳුගේ සහෝදරිය

තරූ සමගාමී සමීකරණයක් විසඳා සඳුනීට ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ඇති විය නොහැකි බව විස්තර කලාය.

එහෙත් ඇයට දැනුනේ ඇය මහත් පවක් කළ එකියක ලෙසය. ඇය ඇය ගැනම කෙතරම් කලකිරී සිටියාද යත් ඇය සදහටම මස්,මාළු කෑම අතහැරියාය. තරූට තවත් දුක හිතුනේ අසංක අයියාගේ වැඩිමහල් සහෝදරිය වූ අසංකා අක්කාගේ විවාහ මංගලෝත්සවය ලං වූ විටය.

අසංකා අක්කා සහෝදරියක වූයේ අසංක අයියාට පමණක් නොවන බැව් තරූ අසා ඇත. ඇය ඔවුන් සිව් දෙනාගේම අක්කාය. ඇගේ විවාහයට ලංකාවේ සිටින්නේ තමා පමණක් බව තරිඳු අයියා උදම් අනමින් සිටියේය. එහෙත් ඉතිරි තිදෙනාම ලංකාවට පැමිණෙද්දී දෙමසකට පෙර ලංකාව හැර ගිය තරිඳු අයියාට පමණක් පැමිණිය නොහැකි විය. යොහාන් අයියාගේ පලපුරුදු බෙස්මන්වරයා තනතුර පිළිබඳවත්, හස්බන්වරු, බෙස්මන්වරු ආනයනය කළ විවාහය පිළිබඳවත් සඳුනි සමඟ සිනා සෙමින් කතා කරද්දී තරූගේ සිතේ කොනක තරිඳු අයියා වෙනුවෙන් දුකක් ඉතිරිව තිබුණි.

ලංකාවට සිදුවූ මහා ව්‍යසනය වූයේ මේ අතරතුරය. සුනාමියක් පිළිබඬ අසාවත් නොතිබුන සැවොම එදා සිතුවේ මුහුද ගොඩ ගලා ලංකාවම යටවනු ඇති බවෙකි. වාසනාවට එදින තරූට පන්ති නිවාඩුය. තරූගේ මව කෙතරම් බිය වීද යත් 'අනේ මගේ දරුවෝ දෙන්නා'යැයි විලාප නැගුවේ මුහුද ගොඩ ගලනවායැයි ආරංචියටය. තරූගේ මුහුද කිට්ටුවම ජීවත් වූ පුංචි අම්මාත්, ලොකු අම්මාගේ දුවත් ඇරෙන්නට ගමේ සිටි පුංචි අම්මලා අක්කලාද එදින පුංචි අම්මලාගේ නිවසට පැමිණ සිටියෝය. ඔවුන්ගේ ජීවිත පිළිබඳව තියාගත හැකි වූයේ බලාපොරොත්තුවක් පමණි. එහෙත් ඔවුහු දිවි ගලවාගෙන ඇදිවත පමණක් ඉතිරිව  තරූගේ නිවෙසට ගොඩ වැදී සැවොම සතුටු කඳුළු හෙලුවෝය. 

පුංචි අම්මලාත් ඔවුන්ගේ අසල්වැසියනුත් පැමිණ තරූගේ නිවෙස පිරී ඉතිරී තිබුණි. කෙමෙන් දුරකතන අවහිරතා මඟ ඇරෙද්දී තරිඳු අයියා කතා කරාවියැයි තරූට නිකමට සිතුනි. ඇය නිදි වරා දුරකතන ක්‍රියාකරවන්නිය බවට පත් විය. එහෙත් පැමිණි ඇමතුම් අතරේ ඔහුගෙන් ඇමතුමක් තිබුණේ නැත.

"හැමෝටම කට්ටිය හොයාගෙන ආව. මං ගැන විතරක් කවුරුත් හෙව්වෙ නෑ..." පසු දිනෙක තරූ සඳුනිට පොත පෙරළුවේ සුනාමි‍ය අතරේ අසංක අයියා සඳුනී සෙවූ සැටිත්, ලොකු අම්මාගේ දුව සොයා ඇය විවාහ වීමට සිටි අයියා පමිණි සැටිත් කතා කරමිනි.

"ඔයා ගැනත් හෙව්වා..." සඳුනී බාගෙට වාක්‍ය නතර කළත් තරූට ඒ ඇතිය. එසේනම් ඔහු තමා ගැන සොයා බලා ඇත.

දින සති මාස ගත වී උසස් පෙළ විභාගය ලං වෙමින් පැවතුනි. 'තරිඳු අයියා ගැන හීන බලන එක නවත්තන්න' තරූ තමාටම අණ කළාය. එහෙත් ඇය ඔහු ගැන සිතුවාය. මේ අතරතුර තරූත් සඳුනීත් අතර පාඩම් කිරීමේ සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවතියේ සඳුනිට රසායන විද්‍යාව ඉගැන්වූ අයියා සිතින් මවා ගත් තරූගේ දක්ෂතාවයක් ගැන කියමින් සඳුනී උසි ගන්වමින් සිටි නිසාය. දිනෙන් දින තරූට සඳුනිගේ ආත්මාර්තකාමිත්වයක් පෙන්නුම් වූයේ ඇයට සිදුවූ අකටයුතුකම්වලට අමතරව ඇය ඉදිරියේ අනෙක් යෙහෙළියන්ට සැලකූ ආකාරය පිළිබදව සිතේ නොමනාපයක් එක් වෙමින් තිබූ නිසාය.



5 comments:

සරත් ලංකාප්‍රිය said...

මේ වැඩේ හරියන්නේ නැහැ.. මං මේ සිරිස් එක ඉවර උනාම මුල ඉඳන් බලනවා,. නැත්නම් මුල මැද අග අමතක වෙනවනේ ! තව ගොඩක් දුර යයිද ?

මන්තරකාරි said...

අනේ සොරි වෙන්න ඕන. ලියන්නනම් ආසයි. ඒත් මේ දවස් ටිකේ වෙලාවක් නැති එකයි අවුල...

Dinesh said...

8 වෙනි කොටස ලියලා තියෙන්නේ 19 වෙනිදා.. 9 වෙනි කොටස අද.. අනේ එහෙම කරන්න එපා නත්තරකාරී.. කතාව අමතක වෙනවා...

මන්තරකාරි said...

ඔන්න දිනේෂ් මලේ අදම ඉතිරි කොටසත් දැම්මා...

සංකල්ප said...

මෙන්න මේයැයි සමීකරණත් ලියලා. හික්ස් :)
ඉක්මනටම අන්තිම කොටසත් කියවන්න ඕනා. කතාව ලස්සනයි.

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .