Monday, October 31, 2011

මා ඉතින් යන්න යනවා...


මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මතකය විතරයි...

මම ඔබෙන් ඈතට යන්නට සැරසෙමි. නමුත් දැන් දැන් මගේ හදවත ගැහෙන්නේ ඔබ හැර යන සෝ තැවුල්දරා ගත නොහැකිවය. එහෙත් මා යායුතුව ඇත. ඔබෙන් ඈතකට යා යුතුව ඇත. අවුරුදු හතර හමාරක ඔබෙත් මගේත් අතීතයට සමු දිය යුතුය. මේ අවුරුදු කිහිපය තුල මසිත ඔබට මේ තරම් ලෙංගතු කමක් ගොඩනැගේයයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.

ඔබ ගැන මගේ සිතේ පළමුව තිබුනේ නොරිස්සුමකි. නොරිස්සුමෙන් මා ඔබ සිත රිදවන්නත් ඇති. එහෙත් මගේ හදේ සැඟවී තිබූ ආලය දැන් දැන් මගෙ දෙනෙත් අගින් ගලා යනවා මට දැනෙයි. ඔබ තුරුලේ රැදෙන්නට මට ඇත්තේ තව සුළු මොහොතකි. මම ඔබට තුරුළු වී වෙව්ලන දෑතින් ඔබ හද පිරි මදිමි. දැනෙනවාද... මේ කඳුළු සීතල... ඒ සීතල කඳුළු ගලන්නේ ඔබට ඇති ආදරෙයෙන්මැයි. එහෙත් දැන් අපිට වෙන් වන්නට කාලය ඇවිත් ඇත. මෙලොව කිසිවක් සදාතනික නැත. කිසිවක් සදාතනික නොවූ ලෝකයේ ඔබටත් මටත් වෙන් වන්නට සිදුවන බැව් ඔබත් මමත් දැන සිටියා නොවෙද? හැර ගියත් ඔබ සදහටම ඔබ මතකය මා හදවතේ රැදෙනු ඇත.

පසුගිය වසර කිහිපය තුල ඔබ තරම් මා ගැන දන්නා තවකෙක් නැතුව ඇති. මා හැඬූ හැඬුම්... හෙළු සුසුම්... ඒ සියල්ල දන්නා එකම කෙනා නුඹයි. ඒ කඳුළු සඟවන්නට නුඹ උරතල කෙතරම් සවියක් වීද... ඒ සුසුම්වලට සවියක් වීද...මම සිනාසෙමි.  සැමගේ සිනා වෙනුවෙන් සිනාසෙමි. ඒ සිනා නගන්නට දරන වෙර දන්නේ ඔබම පමණි.

මම පැරදුණෙමි. සෑම විටම පරාජයන් ගෙන පැමිණෙන මා ඔබ කිසිම වෙනසක් නොපෙන්වා වැළද ගති. සෙවණ දුනි. එළිවන තුරු හැඬූ කඳුලින් ඉදිමුණු දෑස් දැක නුඹ ඔච්චම් කළේ නැත. ඔබ කළේ පැරදුනු මගේ දැසට සවිය දීමයි. ඔබෙන් ලද පන්නරයෙන් මම කඳුළු සඟවා සිනා සෙන්නට පුරුදු වුනෙමි. මම සිතින් සුරංගනාවක් වීමි. මගේ මාළිගය ඔබම විය.

තාලයක් නැති මගේ ගී හඬ ඔබට කරදරයක් වීද... රැව් පිළිරැව් දුන් සිනා හඬ ඔබ අප එක්කල මිතුරු සුවඳමැයි... සුන්දර මතකනම් බෝමැ ඔබ තුරුලේ එකතු වූ... මම දින්නෙත් ඔබ තුරුලේ සිටම නොවේද...

යලි යලිත් මම කියමි, මා කළ කී සියලු දේ දන්නා ඔබ හැර යා නොහැකිව මා පා පැටලෙයි. එකින් එක මගේ දෑ මම එක් රැස් කරමි. බොදවුන දෑසින් මම ඔබේ හදවත, මා තුරුළු කරගත් කරුණාබර හදවත දෙස බලා හිදිමි. යලිත් මම ඔබට තුරුළු වෙමි. මේ අවසාන වරට බව දැන දැන තව තවත් ඔබට තුරුළු වෙමි. නිසොල්මනේ ගලා ගිය කඳුලැලි දැන් දැන් ඉකිබිදුමක්ව දෝරෙ ගලයි. මේ මා ඔබ හද තෙමන්නේ අවසාන වරට නොවේද... හෙට තවකෙකු එනු ඇත. ඇයටත් ඔබ මට මෙන්ම ඔබේ හදවත පුදනු ඇත. නමුදුඇයට සගවන්නට ඇගේ නෙතින් කඬුළු නොවැකෙවායි මම පතමි. අපෙ සිනා හඬටත් වඩා සිනා නැගේවායි පතමි. ගීත ගැනනම් කවර කතාද....

තව දුරටත් ඔබ මගේ නොවේ. මම ඔබ සැරසුම් එක්කර ගනිමි. ඉතින් මගේ දයාබර බෝඩිම, ඔබේ කරුණාබර හදවතවූ මගේ ඇද, අවසරයි මට නික්මී යන්නට ඔබේ සොඳුරු මතකය අරගෙන.....

Saturday, October 29, 2011

දුක්බර අහස මම...


 අඳුරු වළාකුළු බර වෙලා
මොර සූරා වහින්නට අර අදින
දුක්බර අහස මම
වහින්නට නොහැකිව
සුසුම් සඟවා සිනාසෙන...
පීදුන ගොයම රැක ගත යුතු නිසා
කිරි වැදී නෙළන්නට...

Thursday, September 15, 2011

තෑන්ක්ස් සංගා...

මේක අද ලියන්නට නොසිටි ලිපියක් උනත් මේ ඒක ලියන්න සුඳුසුම අවස්ථාව කියලා හිතෙන නිසා මේක ලියන්න හිතුවා. සංගා වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසත් ජනප්‍රියම ක්‍රීඩකයා ලෙසත් තේරීලා, කස්ටියම 'කන්ග්‍රැට්ස් සංගා' කියලා කියද්දි ඇයි මං 'තෑන්ක්ස්' කියන්නෙ කියලා හැමෝම බලනවා ඇති. අන්තිම වෙනකන් කියවන්නෙ නැතුව ඔන්න මට කඩු, පිහි අමෝරාගෙන එනවාහෙම නෙවෙයි.

කුමාර් සංගක්කාර... වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා...ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා... ඇත්තටම ඔහු මගෙත් ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා. අපි සංගා පිටියට එන තෙක් බලා ඉන්නවා. හතරක්, හයක් ගැහුවම ඔල්වරසන් දෙනවා. අර්ධ ශතකයක් ගැහුවම සතුට ආයේ කියන්න වචන නෑ. ශතකයක් ගත්තම විසිල්, අත්පුඩි සද්දෙ මදි නිසා රතිඤ්ඤා පත්තු කරනවා. සංගා අඩු ලකුණු ගණනකට දැවී ගියොත් තරඟය ගැන එතරම් බලාපොරොත්තු තියා ගන්නේ නෑ. එතරමට ඔහු විශිෂ්ටයෙක්. ඔහු විශිෂ්ට පිතිකරුවෙක්. විශිෂ්ට කඩුළු රකින්නෙක්. විශිෂ්ට නායකයෙක්. ඒ විශිෂ්ටත්වය තුලින් ඔහු ලබා ගත් ජනප්‍රිත්වය සම්මානයෙන් ඔප්පු වෙනවා. සංගාගේ ක්‍රීඩා කුසලතාවයට අමතරව තව මං සැහෙන අගය කරන දෙයක් තමයි ඔහු නීති විද්‍යාලයට තේරුන එක. ජාතික කණ්ඩායමට සෙල්ලම් කරද්දි ඔහුට නීතිඥයෙක් වීම අතපසු උනත් නීති පීඨයට තේරීමම කොයි තරම් දෙයක්ද...


දැන් ඉතින් කට්ටිය හිතනවා ඇති
මං මේ තෑන්ක්ස් සංගා කිව්වේ ලංකාවට ගෙනාව කීර්තිය නිසයි කියලා. නෑ... මං තෑන්ක්ස් කිව්වේ සංගාගේ 1 ළකුණකට දැවී යාමකට.  දැන් ඔන්න මං දේශ ද්‍රෝහියෙක් කියලා ගල්, පොලු, කඩු, කිණිසි අරගෙන මේ පැත්තට එන්න එපා කවදද 1 ලකුණකට අවුට් උනේ කියලා බලන්නේ නැතුව...

2004 දෙසැම්බර් 26... මතකද? ලංකාවේ අපිට ඒ දවස කොහොම අමතක වෙන්නද? මුහුද ගොඩ ගලපු දවස. කොටින්ම කිව්වොත් සුනාමි දවස. මතකද එදා ශ්‍රී ලංකා නවසීනන්ත මැච් 1ක් තිබුනා. සංගා ඒ මැච් එකේ 1 ලකුණකට දැවී ගියා කියලා මතකද දන්නේ නෑ. ඉතින් සංගාගේ අවුට් එක, සුනාමිය හා අපේ පෙර පිණ සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.


අපේ පුංචි අම්මාගෙ ගෙදර බාප්පයි, නංගියි, මල්ලිලායි පුදුම ආසයි ක්‍රිකට්වලට. කොටින්ම ක්‍රිකට් පිස්සෝ. ඉතින් එයාලගේ ගෙදර තියෙන්නේ මුහුද කිට්ටුවමයි. වැඩේ කියන්නේ එදා අපේ ගමේ ඉන්න චූටි
පුංචි අම්මලායි, පොඩිම මාමගේ දූයි කට්ටියත් අර පුංචි අම්මලාගේ ගෙදර ඇවිත්. පුංචි අම්මලාගේ ගෙදරට අල්ලපු ගෙදර තමයි ලොකු අම්මාගේ දුව ඉන්නේ. පැටලෙන්න නැතුව ඇති මං හිතන්නෙ පවුලේ විස්තරේ... කෙටියෙන් කියනවනම් එදා අපේ පවුල් 3 1/4ක් මුහුද අයිනේ.


ඉතිරි ටික 'ලු'ප්‍රත්‍යයෙන් කියන්න තියෙන්නේ. ඔන්න ඉතින් අර ක්‍රිකට් පිස්සො ටික උදෙන් නැගිටගෙන මැච් 1 බලනවලු. මටනම් එදා මැච් එක බලන්න උනේ නෑ. පස්සෙ
මං ලකුණු සටහන බැලුවම දැක්කෙ එදා ටීම් එකේ ගොඩක් අය අඩු ගානට අවුට් වෙලා. ඉතින් ඔහොම තියෙද්දි සංගාත් 1 ලකුණකට අවුට් වෙලා. සංගා පිස්සි, අපේ පුංචි අම්මලාගේ ගෙදර නංගි දැන් ඉතින් මැච් 1 බලලා වැඩක් නෑ කියලා හිතලා මැච් 1 බලන එක නවත්තලා එලියට ගිහින් ඇස් දෙකේ කඳුළු පුරවගෙන මුහුද දිහා බැලුවළු. එදා හිතේ දුක අරන් කඳුළු පිසදාන මුහුද වෙනදා වගේ නෙවෙයිලු. එතකොට ලොකු මල්ලිත් මැච් 1 බලන එක නවත්තලාලු. ලොකු මල්ලිටත් පෙන්නුවලු මුහුදෙ ඈතින් එන ලොකු රැළක්. ලොකු මල්ලි කෑ ගහලා 

"තාත්තේ මුහුද අමුතුයි,මුහුද අමුතුයි" කියලා...

බාප්පා බැලුවලු, කෑ ගැහුවලු

"දරුවෝ ගන්න, දරුවෝ ගන්න" කියලා...

කියලා කට්ටියම එහෙමම එළියට පැනලා දුවලා. එතකොට මාමාගේ දුවට අවුරුදු 6ක් විතර ඇති. චූටි පුංචි එයාවත් උස්සගෙනයි දුවලා තියෙන්නේ. මෙයාලා දුවද්දි ගමේ කට්ටිය කියනවලු,

"දුවන්න එපා, ඕන ප්‍රශ්නෙකට අපි ඉන්නවා" කියලා.

ඒ මිනිස්සු හිතලා තියෙන්නේ කවුරු හරි ගහන්න එනවා කියලා.

"නෑ, නෑ, රැල්ලක් එනවා" කිය කියා දිව්වලු.

ඒ මිනිස්සුත් ඒපාර දුවලා. කොහොම හරි අල්ලපු ගෙදර ඉදපු අපෙ ලොකු අම්මගේ ගෙදර අක්කත් මාස ගණනක් වයස චූටි එකීවත් අරගෙන දුවලා ගිහින් ඉස්සරහා තියෙන බිල්ඩිමට නැගලා.

ඉතින් එහෙම රැල්ල පස්සෙන් පන්නද්දි, කකුල්වල රැල්ල වැදි වැදි දුවලා කට්ටිය වෙන වෙලාවක නගීවි කියලා හිතා ගන්නවත් බැරි වහලවල් උඩ නැගලා බේරිලා, එවේලේ ඇදගෙන ඉදපු ඇදුම විතරක් ඉතිරි වෙලා පයින්ම අපේ ගෙදර අවා.
මං නංගිගෙන් ඇහුවම 'බය හිතුනද?' කියලා එයා කිව්වෙ,

"නෑ, මරෙනවනම් ඔක්කොම එකටනෙ, ඒ නිසා බය හිතුනේ නෑ" කියල.


කොහොම හරි එදා මුහුද අයිනෙම ඉදපු මගේ එක නෑදෑයෙක්වත් අරන් යන්න සුනාමියට පුළුවන් උනේ නෑ. රැල්ල පස්සෙන් පන්නද්දි ටවුමේ ඉදලා ආව අන්තිම බස් එකේ පණ බේරාගෙන ආව ලොකු අම්මාලාගේ ගෙදර දෙවැනි අක්කයි, මල්ලියි මුහුදේ බිහිසුණුකම කියලා, අපි එයාලා බේරෙයි කියලා බලාපොරොත්තු නැතුවයි හිටියේ. එයාලා එනකන් කෑ ගහ ගහ ඇඩුව අපේ අම්මා බදාගෙන කට්ටියම ඇඩුවේ "අක්කා නිසයි අපි බේරුනේ" කියලා. ඒත් එදා සංගා 1 ලකුණකට අවුට් උනේ නැත්නම් මගේ පවුලේ ආදරණීයයන් 12ක් සුනාමිය කුරිරු විදියට අරන් යන්න තිබුනා.
 

ඉතින් සංගා අපි ඔබට සදා ණයගැතියි...

තෑන්ක්ස් සංගා...

Thursday, August 25, 2011

ෆෝන් කතා...

ෆෝන් කියන්නෙත් ඉතින් මාරම භාණ්ඩයක් තමයි. ෆෝන් එක්ක කොයි තරම්නම් අපේ ජීවිතේ අවස්ථා බැදිලා තියෙනවාද... මාළුවාගෙ ෆෝන් කතන්දරේ කියෙව්වම මටත් ෆෝන් කතාවක් ලියන්න හිතුනා. මේ මන්තරකාරි රඟපාපු නාටක ටිකක්. මන්තරකාරිට හිනා වෙනව හෙම නෙවෙයි හොඳද?

ඉස්සර අපි ඕලෙවල් කරන කාලෙ අපි කාටවත් මොබයිල් නෑ. අපි ඒලෙවෙල් කරනකොට තමයි ළමයි මොබයිල් පාවිච්චි කරන්න පටන් ගත්තේ. (එහෙම කිව්වට මන්තරකාරිට එච්චර වයසක් නෑ, හරිද??) ඒත් ඉතින් එතකොටත් මොබයිල් එකක් ගත්තෙ අපේ යාළුවන්ගෙන් එක්කෙනයි. අපිට ඉතින් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකේ සරණං ගච්ඡාමි තමයි. එහෙමයි කියලා ඉතින් වැඩි දෙයක් කරන්නෙ නෑ. එක්සෑම් කාලෙට නිදිමත උනාම යාළුවෙකුට කෝල් එකක් දෙන එකයි, යාළුවෝ ටික සෙට් උනාම කාටහරි පොඩී බයිට් එකක් දෙන එකයි ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ. අපි ඉතින් අහිංසක හොඳ ළමයිනෙ... වාසනාවකට ඉතින් ලෑන්ඩ් ෆෝන් බොහොමයක සී.එල්.අයි පහසුකමත් නෑනෙ. ඉතින් අපි වීරයෝ වගේ කතා කරනවා.


ඔන්න ඔහොම දවසක් අපිත් කම්මැලිකමට හිතුන නම්බර් 1ක් ඩයල් කරා.


"හෙලෝ..."


"හෙලෝ..." ඔන්න ස්වීට් අන්කල් කෙනෙක් ආන්සර් කරා... වීරයෝ වගේ ගත්තට කියන්න දෙයක් හිතා ගන්න අමතක උනානෙ.


"තරින්ද ඉන්නවද?" ඇහුව මෝඩ ප්‍රශ්නයක්...


"තරින්ද මලින්දත් එක්ක දේවින්දලාගෙ ගෙදර ගියානෙ" අන්කල් ලස්සනට කිව්වා. බයිට් උනේ අපිද මන්දා...


අපිට ඉතින් කාගෙ හරි නම්බර් එකක් අහු උනොත්නම් ඉතින් කෝල් කරනවමයි. අපේ යාළුවෙක්ගේ ගෙදර පොඩි කම්පැනි එකක් තිබුනා. ඒකට අලුත් සේල්ස් රෙප් කොල්ලෙක් අරන්, සුදු නිදිමත පාට කොල්ලෙක්. අපි ඒකාට කිව්වෙ 'දවල්ට රෑ' කියලා. ඇයි ඉතින් දවල්ටත් නිදිමත පාටටනෙ ඉන්නේ. ඉතින් ඔන්න යාළුවා ඒ කොල්ලගෙ සීවී එකෙන් ෆෝන් නම්බර් එක අරන් ඇවිත් බයිට් එකක් දෙමු කියලා. සුපුරුදු පරිදි ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක්.


"හෙලෝ..." ගෑණු කටහඬක් උත්තර දුන්නා.


"හෙලෝ, දවල්ට රෑ ඉන්නවද?" මන්තරකරිත් අතඇරියෙ නෑ, කෙලින්ම ඇහුවා.


"එයා ගෙදර නෑනෙ, කව්ද මන්තරකාරිද කතා කරන්නෙ?" හුටා... මේ ඇන්ටි කොහොමද මගෙ නම දැන ගත්තෙ?


දඩාං....


මන්තරකාරි බය උන පාර ෆෝන් 1 තිබ්බ. වස නෝන්ඩිය. නම ඇහුන ගමන් බය උනාට ඉතින් ඒ මං මන්තරකාරි ගැන නෙවෙයිනෙ ඇහුවෙ. කෝකටත් කියලා ආයිමත් ගත්තා කෝල් එකක්... බලාගෙන ගියාම දවල්ට රෑගෙ ගර්ල්ගෙ නමත් මන්තරකාරිගෙ නමමයි.


"හෙලෝ..." ඒ පාරනම් ළාමක ගේණු කටහඬක්...


"හෙලෝ..."


"මන්තරකාරි අක්කද කතා කරන්නෙ?"


"ආ... ඔව් ඔව්"
 

"අක්කෙ ඉස්සෙල්ල අම්ම ෆෝන් එක ලඟමයි හිටියෙ... මට ඉතින් දුවගෙන ඇවිත් ගන්න බෑනෙ..." නංගි හොඳටම බය වෙලා වගේ.

"අම්මා මට බැන්නද?"


"නෑ... අක්ක ඇයි ෆෝන් එක තිබ්බෙ?"


"අම්මා ගත්තම මට බය හිතුන නංගි...අයියා කෝ?"


"අයියා මියුසිකල් ෂෝ එකකට ගිහින්"


"ඇත්තද?"


"අක්කට කිව්වෙ නැද්ද යනව කියලා?"


"නෑනෙ"
 

"යන්න එපා කියද්දි ගියේ අක්කෙ"
 

"එහෙමද? මං බලා ගන්නම්කො එහෙනම්"
 

"..."
 

"..."
 

ඔහොම කොහොම හරි නෑනව ගොඩ දාලා ෆෝන් එක තිබ්බ. නෑනට ඉතින් හෙන සැටිස් ගුණයහපත් නැනෙක් හම්බුනා කියලා.

දවල්ට රෑ ගෙදර ආවම අම්ම කිව්වලු අන්න අර ළමයා කෝල් කරා කියලා. එතකන් අම්මා ඒ මන්තරකාරිට අකමැත්තෙන් ඉදලා තියෙන්නෙ. බලන්න මං මන්තරකාරි කොයි තරම් උදව්වක්ද කරලා තියෙන්නෙ නේද... (මේ කතාව ඇත්ත නම් වලින් රිප්ලේස් විය යුතු බව කරුණාවෙන් සලකන්න...)

ඒ ඉස්කෝලෙ යන කාලෙ කරපු ෆෝන් නාටකනෙ... ඉතින් ඔහොම ඔහොම ගිහින් කැම්පස් එන්න කලින් මටත් මොබයිල් එකක් හම්බුනා. හම්බුනා කිව්වට බාගයක් සල්ලි මං එකතු කරපුවා. තාත්තා දුන්න මන් ආස ජාතියේ එකක් ගන්න ඉතිරි ගණන. ඉතින් ඔහොම කාලයක් යනකොට පික්චර් එක පටන් ගන්න නම් යන්න පටන් ගත්තා. වැඩේ හරි යන්නේ නෑ, මන්තරකාරිත් කොල්ලෙක් ඉන්නවා කියලා නළුවට පෙන්නන්න මල් කඩනවා. ඔන්න ඉතින් කොල්ලා කෝල් කරනව....


"හෙලෝ..."
 

"හෙලෝ... හරිද? නළුවා බලාගෙනද ඉන්නෙ?"
 

"ඔව් මං හිතන්නේ"
 

"එහෙනම් ඒ පැත්ත බලන්න එපා"
 

"හා..."
 

"දැන් ආදරණීය හිනාවක් දා ගන්න"
 

ඔන්න මන්තරකාරි හීන් හිනාවක් මවා ගත්තා...
 

"හරිද දැන් හිනා වෙලාද ඉන්නෙ?"
 

"ඔව්..."
 

"දැන් ඇස් දෙක පියා ගන්න"
 

"අනේ මට ලැජ්ජයි"
 

"කියන දේ කරන්න"
 

"හ්ම්ම්... හරි"
 

"දැන් එක සැරේටම හයියෙන් හිනා වෙන්න"
 

"හිකිස්..."
 

"දැන් ටිකක් ඉදල රවුමක් කැරකිලා හිනා වෙන්න"
 

"අනේ මට බෑ..."

"..."

"..."
 

ඔන්න ඔහොමයි මන්තරකාරි නළුවට පේන්න මල් කැඩුවේ. ඒත් ඉතින් වැඩක් නෑ. සහයක නළු නිලියෝ දන්නවා කෝල් කරන්නෙ බොයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි, බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා.... හිකිස්...


Friday, August 12, 2011

ඕං පික්චර් එකට අවුරුදු තුනයි...

පික්චර් එක පටන් අරන්ද, ක්ලයිමැක්ස් එකටද මන්දා, ඕං කොහොමින් කොහොම හරි අවුරුදු තුනකුත් ගිහින්... 

මුලින්ම නළුවා එනවා... හීන්දෑරි ටිකක් උස කොල්ලෙක්...වැඩිය සද්ද නෑ. නිහඬ නිස්ශබ්ද ජීවිතේ... කව්ද ඉතින් හිතුවෙ පික්චර් එකේ ප්‍රධාන නළුවා මෙයා වෙයි කියලා. හිතුවනම් ඉතින් මෙහෙම වෙනවයැ... :P  දැන් එව්වා වැඩක් නෑ... නළුවා නළුවා වෙලා ඉවරනේ... :D

එතකොට නිළිය? 

නිළියනම් ඔය ඉන්නෙ යස අගේට... හෙළ සිංහල පාට, කරුණාබර අඩවන් දෑස, කඩා හැලෙන දිය ඇල්ලක් වගේ කෙස් කළඹ, තැන්පත් ගමන බිමන, මිහිරි කටහඬ, සුමිහිරි වදන් පෙළ, අහිංසක හිනාව, චාම් ඩෙනිමයි ටී ෂර්ට් එකයි....කතා ඇති! නිළිය විස්තර කරන්න ගියොත් පික්චර් එක කියන්න වෙන්නෙ නෑ... :)

ඔන්න එකෝමත් එක කාලෙක නළුවයි නිළියයි හා හා පුරා කියලා මුණ ගැහෙනවා...


නෑ නෑ...එව්ව වැඩක් නෑ. පික්චර් එක පටන් ගන්නකොටම නළුවයි නිළියයි සෙට්. 

ඉතින් ඊට පස්සෙ කුමාරයයි, කුමාරියි සතුටින් ජීවත් උනා.

ඈං... නළුවයි නිළියයි කොහොමද එක පාරටම කුමාරයයි, කුමාරියි උනේ? 

ඒක හරි යන්නෙ නෑ. 

ඉතින් ඊට පස්සෙ නළුවයි නිළියයි සතුටින් ජීවත් උනා.

එතකොට පික්චර් එක ඉවරනේ. කෝ එතකොට කතාව? 


කතාවෙ ඉතින් ප්‍රශ්න නොතිබුනේම නෑ. ඒත් ඉතින් නළුවයි නිළියයි ඩයල්ස්නෙ. ඔය ඉන්නෙ ෆිට් එකේ...

පික්චර් එකක් උනාම දුෂ්ටයෙක් ඉන්න ඕනනෙ. ඕං තුන් වෙනියෙකුත් ආවා පික්චර් එකට. පික්චර් එකේ දුෂ්ටයාද? නෑ... නළුවගේ වෙන ලව් එකක්. නළුවා ඔය තුන් වෙනියට හෙන ලව්. නිළියට හෙන ජෙල. නළුවා ඔය තුන් වෙනියට ලව් කරන තරම් නිළියටවත් ලව් කරලා නෑ. නිළිය හීනෙන් දකින්නෙත් තුන් වෙනියා වැස්සට තෙමිලා මැරෙන විදිය. කාලයක් යනකොට ඉතින් ඔය මුලදි තියෙන තරම් ලව් නෑනේ. දැන් ඕං නළුවත් ටිකක් ලව් අඩු කරලා. නිළියටද? නෑ...තුන්වෙනියට... ඒ කිව්වෙ නළුවගෙ ලැප් එකට...


ප්‍රේම ජවනිකා... ආදරණීය සටන් ජවනිකා... බිහිසුණු සිංදු... ත්‍රාසජනක විහිළු...සිරා පික්චර් එක...


ඔහොම ඔහොම ගිහින් දැන් ඉතින් මංසලකට ඇවිත්.

එතකොට පික්චර් එක ෂූට් කරෙ පාරෙද?

නෑ නෑ... දැන් නළුවටයි නිළියටයි ලොකේෂන් දෙකක ෂූට් කරන්න වෙලා. දැන්නම් නිළියට නළුවා නැතිව හෙන පාළුයි.

ඉතින් ඔන්න අදට පික්චර් එකට අදට අවුරුදු තුනයි. හිකිස්... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ... 


Sunday, August 7, 2011

හෙට...

හෙට... ඔව් හෙට... දින, සති, මාස, අවුරුදු ගෙවිලා එළඹෙන හෙට... ආයෙත් මං තනි වෙන හෙට... අපේ දූවිලි මාළිගයෙන් හිනා රැව් පිළිරැව් දෙන සද්දෙ මැකිලා යන හෙට... ජීවිතේ ආයිත් මේ නපුරු මන්තරකාරිට කොලොප්පම් කරන හෙට... ඇහෙනවද...මකුළුවො බිත්තිවල එල්ලිලා ඔච්චම් කරනවා... එතකොට කැරපොත්තො? එවුන් සාදයක් හෙට ඉදන් අපි හදපු සුරපුරය එවුන්ගේ කියලා... හෙට ඉදලා මේක නපුරු මන්තරකාරියෙක් තනියම ඉන්න පාළු බංගලාවක් වෙනවා...

දෛවය අපිව මුණ ගැස්සුවේ මොන තරම් අහම්බයකින්ද? ඒත් එදා ඉදලා මේ වෙනකන් කොයි තරම් මතකයන් අපේ ජීවිතවලට එකතු වෙලාද? මතකද ඉස්සර අපි දෙන්නම තේ හදන්න දන්නෙ නෑ. මං මුලින්ම අමාරුවෙන් ලොකූ කෝප්පෙකට තේ එකක් හදලා ඔයාට පුංචි කෝප්පෙකට පෙරලා දුන්නා මතකද? ඒකම පෙරලා ඉවර වෙලා තේ එකෙන් බාගයක් මේසෙ උඩ තියෙනවා දැක්කමයි අපි දෙන්නටම මතක් උනේ පුංචි කෝප්පෙ ඉඩ මදි ඒක පෙරන්න කියලා. තවමත් අපේ පුන්චි කාලේ කියලා මුලින්ම මතක් කරන්නෙ ඒක නෙද... ඉස්සර අපි දෙන්නා තේ එකක් හදා ගන්නත් කරන යුද්ධයක්...

ඒ හදා ගන්න තේ එකත් අරන් අපි දෙන්නා සාලේ පුංචි බැම්ම උඩට වෙලා හිනා වෙන එකමයි කරන්නේ. ඉස්සර අපි දෙන්නා කැමතිම තැන ඒ බැම්ම. අපි දෙන්නා කන්නෙත් එතන වාඩි වෙලා. වැඩියෙන්ම එතනට වෙලා කරන්නෙ එදා දවසෙ වෙච්චි දේවල් කිය කියා බඩ අල්ලන් හිනා වෙන එක. එතකොට ඔයාට හරි පුදුමයි මං ගැන. දවල්ට ඉන්න මං නෙවෙයි රෑට ඉන්නෙ, හිනා වෙනවා, හිනා වෙනවා ඉවරයක් නෑ කියලා...

ඊලඟට අපේ මාළිගයට තුන් වෙනියෙකුත් ආව. අපි තුන් දෙනා කොයි තරම් සතුටින් හිටියද? රණ්ඩු උනෙත් නැතුවම නෙවෙයි. තරහා උනත් ඉතින් ආයි චුට්ටකින් ඔක්කොම ඉවරයි. මාළිගේ හිටියා ඇති කියලා හිතුනම අපි තුන් දෙනායනවා වෙන මාළිගා හොයන්න. ඒත් ඒ එකක්වත් අපිට හරි යන්නේ නෑ. මොකාක් හරි ඇදයක් පේනවා. ඉතින් ඔහොම සදහටම අපි මේ මාළිගේමයි.

ඉතින් හෙට? හෙට මොකද වෙන්නෙ? හෙට ඔයාල දෙන්නා මාව තනි කරලා දාලා මාළිගයෙන් යනවා. එතකොට මං තනි වෙනවා. කව්ද මේ මාව දාලා යන්න හදන්නෙ? මගේ රූමො දෙන්නා... ඒ දෙන්නට ගෙදර ඉදලා යන්න එන්න පුළුවන් උනාට ඩොටේ මං කොහේ යන්නද?

ඔය දෙන්නා ගියත් අවුරුදු හතරක මතකයන් නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මොනවා අමතක් උනත් ජීවිතේ මං කඩාගෙනම වැටුන වෙලාවේ, ගෙදර යන්න තරම්වත් සිහියක් නොතිබුන වෙලාවේ ඔයාලා දෙන්නා මාව ගෙදර එක්කගෙන ගිහින් අපේ ගෙදර මාත් එක්ක නැවතිලා හිටියේ පස්සේ දවසේ සබ්මිෂන් එකට මොනවත්ම කරලා නෙවෙයි කියලා අමතක වෙන්නෙ නෑ. ඒ වෙලාවේ ඔයාලා මට මොන තරම් හයියක් උනාද...

මං දන්නවා වෙලාවකට ඔයාලට මාත් එක්ක ඉන්න එක එපාම වෙන්න ඇති. යාළුවන්ට ගොඩාක් ආදරේ කරලා, ලං වෙලා ඉදලා, එයාලා නිසා ගොඩාක් විදවපු මං ඔයාලට වැඩිය ලං උනේ නෑ. ඒත්... මං දන්නවා ඔයාලා මාව තේරුම් ගත්තා.

ඔයාලා මට මං කැමතිම දේවල් තමයි මගේ උපන් දිනයට තෑගි දුන්නෙ...ඒත් ඔයාලා දන්නේ නැ එයින් මං කැමතිම මොකකටද කියලා. මං වැඩියෙන්ම කැමති ඔයාලත් එක්ක හිටිය මුල්ම උපන්දිනේට තෑගි දුන්න හා පැංචාට. එයා තමයි මං ගැන හැමදේම්දන්න කෙනා. එයා හැම වෙලාවෙම කාටවත් නොකියන මගේ දුක අහගෙන හිටියා. මං අඬනකොට මගේ ලඟට වෙලා හිටියා... හෙට ඔයාලා ගියහමත් මට ඇඩෙයි. එතකොටත් එයා මං ලඟට වෙලා ඉදීවි...

Saturday, August 6, 2011

දයාබර කැන්සරය...

දයාබර කැන්සරය,
ආච්චිවනම් අරන් යන්න එපා...
දන්නව උඹ නපුරුයි,
දරුණුයි වෙන පිළිකාවලට වඩා
දොස්තර කිව්වනෙ පරක්කුයි
කරන්න දෙයක් නෑ කියලා...
එහෙම කියලා කොහොමද?
අපිට වැඩනෙ...
තවම ආච්චිව බලන්නවත් බැරි උනා...
මේ ඩිංග දවසට ආච්චි වෙනස් කරලා,
කලු කරලා මූණ උදුම්මලා,
පණ නැතිව නිදි කරලා
මොකක්ද කියන්න හදන්නෙ?
ආච්චිව ඉක්මනටම ගෙනියනව කියලද?
එව්ව කොහෙද?
ආච්චි මාව බලන්න ආසාවෙන්නෙ ඉන්නෙ...
ඔන්න අපිට වැඩ ඉවර වෙනකන්
ආච්චිව ගෙනියනවහෙම නෙවෙයි...


මීට දයාබර,
.......


ප.ලි. ආච්චිව ගෙනියන්නම එපා...
 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .