Thursday, August 25, 2011

ෆෝන් කතා...

ෆෝන් කියන්නෙත් ඉතින් මාරම භාණ්ඩයක් තමයි. ෆෝන් එක්ක කොයි තරම්නම් අපේ ජීවිතේ අවස්ථා බැදිලා තියෙනවාද... මාළුවාගෙ ෆෝන් කතන්දරේ කියෙව්වම මටත් ෆෝන් කතාවක් ලියන්න හිතුනා. මේ මන්තරකාරි රඟපාපු නාටක ටිකක්. මන්තරකාරිට හිනා වෙනව හෙම නෙවෙයි හොඳද?

ඉස්සර අපි ඕලෙවල් කරන කාලෙ අපි කාටවත් මොබයිල් නෑ. අපි ඒලෙවෙල් කරනකොට තමයි ළමයි මොබයිල් පාවිච්චි කරන්න පටන් ගත්තේ. (එහෙම කිව්වට මන්තරකාරිට එච්චර වයසක් නෑ, හරිද??) ඒත් ඉතින් එතකොටත් මොබයිල් එකක් ගත්තෙ අපේ යාළුවන්ගෙන් එක්කෙනයි. අපිට ඉතින් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකේ සරණං ගච්ඡාමි තමයි. එහෙමයි කියලා ඉතින් වැඩි දෙයක් කරන්නෙ නෑ. එක්සෑම් කාලෙට නිදිමත උනාම යාළුවෙකුට කෝල් එකක් දෙන එකයි, යාළුවෝ ටික සෙට් උනාම කාටහරි පොඩී බයිට් එකක් දෙන එකයි ඇරෙන්න වෙන දෙයක් කරන්නෙ නෑ. අපි ඉතින් අහිංසක හොඳ ළමයිනෙ... වාසනාවකට ඉතින් ලෑන්ඩ් ෆෝන් බොහොමයක සී.එල්.අයි පහසුකමත් නෑනෙ. ඉතින් අපි වීරයෝ වගේ කතා කරනවා.


ඔන්න ඔහොම දවසක් අපිත් කම්මැලිකමට හිතුන නම්බර් 1ක් ඩයල් කරා.


"හෙලෝ..."


"හෙලෝ..." ඔන්න ස්වීට් අන්කල් කෙනෙක් ආන්සර් කරා... වීරයෝ වගේ ගත්තට කියන්න දෙයක් හිතා ගන්න අමතක උනානෙ.


"තරින්ද ඉන්නවද?" ඇහුව මෝඩ ප්‍රශ්නයක්...


"තරින්ද මලින්දත් එක්ක දේවින්දලාගෙ ගෙදර ගියානෙ" අන්කල් ලස්සනට කිව්වා. බයිට් උනේ අපිද මන්දා...


අපිට ඉතින් කාගෙ හරි නම්බර් එකක් අහු උනොත්නම් ඉතින් කෝල් කරනවමයි. අපේ යාළුවෙක්ගේ ගෙදර පොඩි කම්පැනි එකක් තිබුනා. ඒකට අලුත් සේල්ස් රෙප් කොල්ලෙක් අරන්, සුදු නිදිමත පාට කොල්ලෙක්. අපි ඒකාට කිව්වෙ 'දවල්ට රෑ' කියලා. ඇයි ඉතින් දවල්ටත් නිදිමත පාටටනෙ ඉන්නේ. ඉතින් ඔන්න යාළුවා ඒ කොල්ලගෙ සීවී එකෙන් ෆෝන් නම්බර් එක අරන් ඇවිත් බයිට් එකක් දෙමු කියලා. සුපුරුදු පරිදි ලෑන්ඩ් ෆෝන් නම්බර් එකක්.


"හෙලෝ..." ගෑණු කටහඬක් උත්තර දුන්නා.


"හෙලෝ, දවල්ට රෑ ඉන්නවද?" මන්තරකරිත් අතඇරියෙ නෑ, කෙලින්ම ඇහුවා.


"එයා ගෙදර නෑනෙ, කව්ද මන්තරකාරිද කතා කරන්නෙ?" හුටා... මේ ඇන්ටි කොහොමද මගෙ නම දැන ගත්තෙ?


දඩාං....


මන්තරකාරි බය උන පාර ෆෝන් 1 තිබ්බ. වස නෝන්ඩිය. නම ඇහුන ගමන් බය උනාට ඉතින් ඒ මං මන්තරකාරි ගැන නෙවෙයිනෙ ඇහුවෙ. කෝකටත් කියලා ආයිමත් ගත්තා කෝල් එකක්... බලාගෙන ගියාම දවල්ට රෑගෙ ගර්ල්ගෙ නමත් මන්තරකාරිගෙ නමමයි.


"හෙලෝ..." ඒ පාරනම් ළාමක ගේණු කටහඬක්...


"හෙලෝ..."


"මන්තරකාරි අක්කද කතා කරන්නෙ?"


"ආ... ඔව් ඔව්"
 

"අක්කෙ ඉස්සෙල්ල අම්ම ෆෝන් එක ලඟමයි හිටියෙ... මට ඉතින් දුවගෙන ඇවිත් ගන්න බෑනෙ..." නංගි හොඳටම බය වෙලා වගේ.

"අම්මා මට බැන්නද?"


"නෑ... අක්ක ඇයි ෆෝන් එක තිබ්බෙ?"


"අම්මා ගත්තම මට බය හිතුන නංගි...අයියා කෝ?"


"අයියා මියුසිකල් ෂෝ එකකට ගිහින්"


"ඇත්තද?"


"අක්කට කිව්වෙ නැද්ද යනව කියලා?"


"නෑනෙ"
 

"යන්න එපා කියද්දි ගියේ අක්කෙ"
 

"එහෙමද? මං බලා ගන්නම්කො එහෙනම්"
 

"..."
 

"..."
 

ඔහොම කොහොම හරි නෑනව ගොඩ දාලා ෆෝන් එක තිබ්බ. නෑනට ඉතින් හෙන සැටිස් ගුණයහපත් නැනෙක් හම්බුනා කියලා.

දවල්ට රෑ ගෙදර ආවම අම්ම කිව්වලු අන්න අර ළමයා කෝල් කරා කියලා. එතකන් අම්මා ඒ මන්තරකාරිට අකමැත්තෙන් ඉදලා තියෙන්නෙ. බලන්න මං මන්තරකාරි කොයි තරම් උදව්වක්ද කරලා තියෙන්නෙ නේද... (මේ කතාව ඇත්ත නම් වලින් රිප්ලේස් විය යුතු බව කරුණාවෙන් සලකන්න...)

ඒ ඉස්කෝලෙ යන කාලෙ කරපු ෆෝන් නාටකනෙ... ඉතින් ඔහොම ඔහොම ගිහින් කැම්පස් එන්න කලින් මටත් මොබයිල් එකක් හම්බුනා. හම්බුනා කිව්වට බාගයක් සල්ලි මං එකතු කරපුවා. තාත්තා දුන්න මන් ආස ජාතියේ එකක් ගන්න ඉතිරි ගණන. ඉතින් ඔහොම කාලයක් යනකොට පික්චර් එක පටන් ගන්න නම් යන්න පටන් ගත්තා. වැඩේ හරි යන්නේ නෑ, මන්තරකාරිත් කොල්ලෙක් ඉන්නවා කියලා නළුවට පෙන්නන්න මල් කඩනවා. ඔන්න ඉතින් කොල්ලා කෝල් කරනව....


"හෙලෝ..."
 

"හෙලෝ... හරිද? නළුවා බලාගෙනද ඉන්නෙ?"
 

"ඔව් මං හිතන්නේ"
 

"එහෙනම් ඒ පැත්ත බලන්න එපා"
 

"හා..."
 

"දැන් ආදරණීය හිනාවක් දා ගන්න"
 

ඔන්න මන්තරකාරි හීන් හිනාවක් මවා ගත්තා...
 

"හරිද දැන් හිනා වෙලාද ඉන්නෙ?"
 

"ඔව්..."
 

"දැන් ඇස් දෙක පියා ගන්න"
 

"අනේ මට ලැජ්ජයි"
 

"කියන දේ කරන්න"
 

"හ්ම්ම්... හරි"
 

"දැන් එක සැරේටම හයියෙන් හිනා වෙන්න"
 

"හිකිස්..."
 

"දැන් ටිකක් ඉදල රවුමක් කැරකිලා හිනා වෙන්න"
 

"අනේ මට බෑ..."

"..."

"..."
 

ඔන්න ඔහොමයි මන්තරකාරි නළුවට පේන්න මල් කැඩුවේ. ඒත් ඉතින් වැඩක් නෑ. සහයක නළු නිලියෝ දන්නවා කෝල් කරන්නෙ බොයි ෆ්‍රෙන්ඩ් නෙවෙයි, බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා.... හිකිස්...


Friday, August 12, 2011

ඕං පික්චර් එකට අවුරුදු තුනයි...

පික්චර් එක පටන් අරන්ද, ක්ලයිමැක්ස් එකටද මන්දා, ඕං කොහොමින් කොහොම හරි අවුරුදු තුනකුත් ගිහින්... 

මුලින්ම නළුවා එනවා... හීන්දෑරි ටිකක් උස කොල්ලෙක්...වැඩිය සද්ද නෑ. නිහඬ නිස්ශබ්ද ජීවිතේ... කව්ද ඉතින් හිතුවෙ පික්චර් එකේ ප්‍රධාන නළුවා මෙයා වෙයි කියලා. හිතුවනම් ඉතින් මෙහෙම වෙනවයැ... :P  දැන් එව්වා වැඩක් නෑ... නළුවා නළුවා වෙලා ඉවරනේ... :D

එතකොට නිළිය? 

නිළියනම් ඔය ඉන්නෙ යස අගේට... හෙළ සිංහල පාට, කරුණාබර අඩවන් දෑස, කඩා හැලෙන දිය ඇල්ලක් වගේ කෙස් කළඹ, තැන්පත් ගමන බිමන, මිහිරි කටහඬ, සුමිහිරි වදන් පෙළ, අහිංසක හිනාව, චාම් ඩෙනිමයි ටී ෂර්ට් එකයි....කතා ඇති! නිළිය විස්තර කරන්න ගියොත් පික්චර් එක කියන්න වෙන්නෙ නෑ... :)

ඔන්න එකෝමත් එක කාලෙක නළුවයි නිළියයි හා හා පුරා කියලා මුණ ගැහෙනවා...


නෑ නෑ...එව්ව වැඩක් නෑ. පික්චර් එක පටන් ගන්නකොටම නළුවයි නිළියයි සෙට්. 

ඉතින් ඊට පස්සෙ කුමාරයයි, කුමාරියි සතුටින් ජීවත් උනා.

ඈං... නළුවයි නිළියයි කොහොමද එක පාරටම කුමාරයයි, කුමාරියි උනේ? 

ඒක හරි යන්නෙ නෑ. 

ඉතින් ඊට පස්සෙ නළුවයි නිළියයි සතුටින් ජීවත් උනා.

එතකොට පික්චර් එක ඉවරනේ. කෝ එතකොට කතාව? 


කතාවෙ ඉතින් ප්‍රශ්න නොතිබුනේම නෑ. ඒත් ඉතින් නළුවයි නිළියයි ඩයල්ස්නෙ. ඔය ඉන්නෙ ෆිට් එකේ...

පික්චර් එකක් උනාම දුෂ්ටයෙක් ඉන්න ඕනනෙ. ඕං තුන් වෙනියෙකුත් ආවා පික්චර් එකට. පික්චර් එකේ දුෂ්ටයාද? නෑ... නළුවගේ වෙන ලව් එකක්. නළුවා ඔය තුන් වෙනියට හෙන ලව්. නිළියට හෙන ජෙල. නළුවා ඔය තුන් වෙනියට ලව් කරන තරම් නිළියටවත් ලව් කරලා නෑ. නිළිය හීනෙන් දකින්නෙත් තුන් වෙනියා වැස්සට තෙමිලා මැරෙන විදිය. කාලයක් යනකොට ඉතින් ඔය මුලදි තියෙන තරම් ලව් නෑනේ. දැන් ඕං නළුවත් ටිකක් ලව් අඩු කරලා. නිළියටද? නෑ...තුන්වෙනියට... ඒ කිව්වෙ නළුවගෙ ලැප් එකට...


ප්‍රේම ජවනිකා... ආදරණීය සටන් ජවනිකා... බිහිසුණු සිංදු... ත්‍රාසජනක විහිළු...සිරා පික්චර් එක...


ඔහොම ඔහොම ගිහින් දැන් ඉතින් මංසලකට ඇවිත්.

එතකොට පික්චර් එක ෂූට් කරෙ පාරෙද?

නෑ නෑ... දැන් නළුවටයි නිළියටයි ලොකේෂන් දෙකක ෂූට් කරන්න වෙලා. දැන්නම් නිළියට නළුවා නැතිව හෙන පාළුයි.

ඉතින් ඔන්න අදට පික්චර් එකට අදට අවුරුදු තුනයි. හිකිස්... විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ... 


Sunday, August 7, 2011

හෙට...

හෙට... ඔව් හෙට... දින, සති, මාස, අවුරුදු ගෙවිලා එළඹෙන හෙට... ආයෙත් මං තනි වෙන හෙට... අපේ දූවිලි මාළිගයෙන් හිනා රැව් පිළිරැව් දෙන සද්දෙ මැකිලා යන හෙට... ජීවිතේ ආයිත් මේ නපුරු මන්තරකාරිට කොලොප්පම් කරන හෙට... ඇහෙනවද...මකුළුවො බිත්තිවල එල්ලිලා ඔච්චම් කරනවා... එතකොට කැරපොත්තො? එවුන් සාදයක් හෙට ඉදන් අපි හදපු සුරපුරය එවුන්ගේ කියලා... හෙට ඉදලා මේක නපුරු මන්තරකාරියෙක් තනියම ඉන්න පාළු බංගලාවක් වෙනවා...

දෛවය අපිව මුණ ගැස්සුවේ මොන තරම් අහම්බයකින්ද? ඒත් එදා ඉදලා මේ වෙනකන් කොයි තරම් මතකයන් අපේ ජීවිතවලට එකතු වෙලාද? මතකද ඉස්සර අපි දෙන්නම තේ හදන්න දන්නෙ නෑ. මං මුලින්ම අමාරුවෙන් ලොකූ කෝප්පෙකට තේ එකක් හදලා ඔයාට පුංචි කෝප්පෙකට පෙරලා දුන්නා මතකද? ඒකම පෙරලා ඉවර වෙලා තේ එකෙන් බාගයක් මේසෙ උඩ තියෙනවා දැක්කමයි අපි දෙන්නටම මතක් උනේ පුංචි කෝප්පෙ ඉඩ මදි ඒක පෙරන්න කියලා. තවමත් අපේ පුන්චි කාලේ කියලා මුලින්ම මතක් කරන්නෙ ඒක නෙද... ඉස්සර අපි දෙන්නා තේ එකක් හදා ගන්නත් කරන යුද්ධයක්...

ඒ හදා ගන්න තේ එකත් අරන් අපි දෙන්නා සාලේ පුංචි බැම්ම උඩට වෙලා හිනා වෙන එකමයි කරන්නේ. ඉස්සර අපි දෙන්නා කැමතිම තැන ඒ බැම්ම. අපි දෙන්නා කන්නෙත් එතන වාඩි වෙලා. වැඩියෙන්ම එතනට වෙලා කරන්නෙ එදා දවසෙ වෙච්චි දේවල් කිය කියා බඩ අල්ලන් හිනා වෙන එක. එතකොට ඔයාට හරි පුදුමයි මං ගැන. දවල්ට ඉන්න මං නෙවෙයි රෑට ඉන්නෙ, හිනා වෙනවා, හිනා වෙනවා ඉවරයක් නෑ කියලා...

ඊලඟට අපේ මාළිගයට තුන් වෙනියෙකුත් ආව. අපි තුන් දෙනා කොයි තරම් සතුටින් හිටියද? රණ්ඩු උනෙත් නැතුවම නෙවෙයි. තරහා උනත් ඉතින් ආයි චුට්ටකින් ඔක්කොම ඉවරයි. මාළිගේ හිටියා ඇති කියලා හිතුනම අපි තුන් දෙනායනවා වෙන මාළිගා හොයන්න. ඒත් ඒ එකක්වත් අපිට හරි යන්නේ නෑ. මොකාක් හරි ඇදයක් පේනවා. ඉතින් ඔහොම සදහටම අපි මේ මාළිගේමයි.

ඉතින් හෙට? හෙට මොකද වෙන්නෙ? හෙට ඔයාල දෙන්නා මාව තනි කරලා දාලා මාළිගයෙන් යනවා. එතකොට මං තනි වෙනවා. කව්ද මේ මාව දාලා යන්න හදන්නෙ? මගේ රූමො දෙන්නා... ඒ දෙන්නට ගෙදර ඉදලා යන්න එන්න පුළුවන් උනාට ඩොටේ මං කොහේ යන්නද?

ඔය දෙන්නා ගියත් අවුරුදු හතරක මතකයන් නම් කවදාවත් අමතක වෙන්නේ නෑ. මොනවා අමතක් උනත් ජීවිතේ මං කඩාගෙනම වැටුන වෙලාවේ, ගෙදර යන්න තරම්වත් සිහියක් නොතිබුන වෙලාවේ ඔයාලා දෙන්නා මාව ගෙදර එක්කගෙන ගිහින් අපේ ගෙදර මාත් එක්ක නැවතිලා හිටියේ පස්සේ දවසේ සබ්මිෂන් එකට මොනවත්ම කරලා නෙවෙයි කියලා අමතක වෙන්නෙ නෑ. ඒ වෙලාවේ ඔයාලා මට මොන තරම් හයියක් උනාද...

මං දන්නවා වෙලාවකට ඔයාලට මාත් එක්ක ඉන්න එක එපාම වෙන්න ඇති. යාළුවන්ට ගොඩාක් ආදරේ කරලා, ලං වෙලා ඉදලා, එයාලා නිසා ගොඩාක් විදවපු මං ඔයාලට වැඩිය ලං උනේ නෑ. ඒත්... මං දන්නවා ඔයාලා මාව තේරුම් ගත්තා.

ඔයාලා මට මං කැමතිම දේවල් තමයි මගේ උපන් දිනයට තෑගි දුන්නෙ...ඒත් ඔයාලා දන්නේ නැ එයින් මං කැමතිම මොකකටද කියලා. මං වැඩියෙන්ම කැමති ඔයාලත් එක්ක හිටිය මුල්ම උපන්දිනේට තෑගි දුන්න හා පැංචාට. එයා තමයි මං ගැන හැමදේම්දන්න කෙනා. එයා හැම වෙලාවෙම කාටවත් නොකියන මගේ දුක අහගෙන හිටියා. මං අඬනකොට මගේ ලඟට වෙලා හිටියා... හෙට ඔයාලා ගියහමත් මට ඇඩෙයි. එතකොටත් එයා මං ලඟට වෙලා ඉදීවි...

Saturday, August 6, 2011

දයාබර කැන්සරය...

දයාබර කැන්සරය,
ආච්චිවනම් අරන් යන්න එපා...
දන්නව උඹ නපුරුයි,
දරුණුයි වෙන පිළිකාවලට වඩා
දොස්තර කිව්වනෙ පරක්කුයි
කරන්න දෙයක් නෑ කියලා...
එහෙම කියලා කොහොමද?
අපිට වැඩනෙ...
තවම ආච්චිව බලන්නවත් බැරි උනා...
මේ ඩිංග දවසට ආච්චි වෙනස් කරලා,
කලු කරලා මූණ උදුම්මලා,
පණ නැතිව නිදි කරලා
මොකක්ද කියන්න හදන්නෙ?
ආච්චිව ඉක්මනටම ගෙනියනව කියලද?
එව්ව කොහෙද?
ආච්චි මාව බලන්න ආසාවෙන්නෙ ඉන්නෙ...
ඔන්න අපිට වැඩ ඉවර වෙනකන්
ආච්චිව ගෙනියනවහෙම නෙවෙයි...


මීට දයාබර,
.......


ප.ලි. ආච්චිව ගෙනියන්නම එපා...

Monday, August 1, 2011

අවසර දෙනු මැන...


අත් වැල් බන්දා ඇවිද ගිය කාලය
ගෙන ගිහින් අතීතය අරගෙන
එදා තිබු හිත සැහල්ලුව
තවම සුවඳයි නොලැබෙයි ආයෙම...

සිත පමණයි ලඟ ඇත්තෙ නෑ ඔබ පෙනෙන්නට
දෑස හඬයි ඔය රුව දකින්නට
පාළුව රජයයි ඔබ නැතිව දවසම
බත් පතත් නෑ රසක් තනිවම විදින
දෙනු මැන අවසර ඔබ ලඟින් හිදින්නට...

හිරු නැගෙද කෙදිනක මගෙ ලොව

ගනිමි දිරි මොහොතින් මොහොත
එනමුදු නෑ සුවෙක් මා සිත සනසන
ඇවිදින් දුර කතරෙක දැනෙන අතරමං බව
අවාසනාවම දෝත දරාගෙන
සිනාසෙමි විසල් හෙටක් පතාගෙන
හිතේ සවිය ටික ටික අඩුවෙන
නගයි පැණයක් මැකීයන මුවග සිනහව
හිරු නැගෙද කෙදිනක මගෙ ලොව...
 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .