Monday, October 31, 2011

මා ඉතින් යන්න යනවා...


මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
මතකය විතරයි...

මම ඔබෙන් ඈතට යන්නට සැරසෙමි. නමුත් දැන් දැන් මගේ හදවත ගැහෙන්නේ ඔබ හැර යන සෝ තැවුල්දරා ගත නොහැකිවය. එහෙත් මා යායුතුව ඇත. ඔබෙන් ඈතකට යා යුතුව ඇත. අවුරුදු හතර හමාරක ඔබෙත් මගේත් අතීතයට සමු දිය යුතුය. මේ අවුරුදු කිහිපය තුල මසිත ඔබට මේ තරම් ලෙංගතු කමක් ගොඩනැගේයයි මම සිහිනෙකින්වත් නොසිතුවෙමි.

ඔබ ගැන මගේ සිතේ පළමුව තිබුනේ නොරිස්සුමකි. නොරිස්සුමෙන් මා ඔබ සිත රිදවන්නත් ඇති. එහෙත් මගේ හදේ සැඟවී තිබූ ආලය දැන් දැන් මගෙ දෙනෙත් අගින් ගලා යනවා මට දැනෙයි. ඔබ තුරුලේ රැදෙන්නට මට ඇත්තේ තව සුළු මොහොතකි. මම ඔබට තුරුළු වී වෙව්ලන දෑතින් ඔබ හද පිරි මදිමි. දැනෙනවාද... මේ කඳුළු සීතල... ඒ සීතල කඳුළු ගලන්නේ ඔබට ඇති ආදරෙයෙන්මැයි. එහෙත් දැන් අපිට වෙන් වන්නට කාලය ඇවිත් ඇත. මෙලොව කිසිවක් සදාතනික නැත. කිසිවක් සදාතනික නොවූ ලෝකයේ ඔබටත් මටත් වෙන් වන්නට සිදුවන බැව් ඔබත් මමත් දැන සිටියා නොවෙද? හැර ගියත් ඔබ සදහටම ඔබ මතකය මා හදවතේ රැදෙනු ඇත.

පසුගිය වසර කිහිපය තුල ඔබ තරම් මා ගැන දන්නා තවකෙක් නැතුව ඇති. මා හැඬූ හැඬුම්... හෙළු සුසුම්... ඒ සියල්ල දන්නා එකම කෙනා නුඹයි. ඒ කඳුළු සඟවන්නට නුඹ උරතල කෙතරම් සවියක් වීද... ඒ සුසුම්වලට සවියක් වීද...මම සිනාසෙමි.  සැමගේ සිනා වෙනුවෙන් සිනාසෙමි. ඒ සිනා නගන්නට දරන වෙර දන්නේ ඔබම පමණි.

මම පැරදුණෙමි. සෑම විටම පරාජයන් ගෙන පැමිණෙන මා ඔබ කිසිම වෙනසක් නොපෙන්වා වැළද ගති. සෙවණ දුනි. එළිවන තුරු හැඬූ කඳුලින් ඉදිමුණු දෑස් දැක නුඹ ඔච්චම් කළේ නැත. ඔබ කළේ පැරදුනු මගේ දැසට සවිය දීමයි. ඔබෙන් ලද පන්නරයෙන් මම කඳුළු සඟවා සිනා සෙන්නට පුරුදු වුනෙමි. මම සිතින් සුරංගනාවක් වීමි. මගේ මාළිගය ඔබම විය.

තාලයක් නැති මගේ ගී හඬ ඔබට කරදරයක් වීද... රැව් පිළිරැව් දුන් සිනා හඬ ඔබ අප එක්කල මිතුරු සුවඳමැයි... සුන්දර මතකනම් බෝමැ ඔබ තුරුලේ එකතු වූ... මම දින්නෙත් ඔබ තුරුලේ සිටම නොවේද...

යලි යලිත් මම කියමි, මා කළ කී සියලු දේ දන්නා ඔබ හැර යා නොහැකිව මා පා පැටලෙයි. එකින් එක මගේ දෑ මම එක් රැස් කරමි. බොදවුන දෑසින් මම ඔබේ හදවත, මා තුරුළු කරගත් කරුණාබර හදවත දෙස බලා හිදිමි. යලිත් මම ඔබට තුරුළු වෙමි. මේ අවසාන වරට බව දැන දැන තව තවත් ඔබට තුරුළු වෙමි. නිසොල්මනේ ගලා ගිය කඳුලැලි දැන් දැන් ඉකිබිදුමක්ව දෝරෙ ගලයි. මේ මා ඔබ හද තෙමන්නේ අවසාන වරට නොවේද... හෙට තවකෙකු එනු ඇත. ඇයටත් ඔබ මට මෙන්ම ඔබේ හදවත පුදනු ඇත. නමුදුඇයට සගවන්නට ඇගේ නෙතින් කඬුළු නොවැකෙවායි මම පතමි. අපෙ සිනා හඬටත් වඩා සිනා නැගේවායි පතමි. ගීත ගැනනම් කවර කතාද....

තව දුරටත් ඔබ මගේ නොවේ. මම ඔබ සැරසුම් එක්කර ගනිමි. ඉතින් මගේ දයාබර බෝඩිම, ඔබේ කරුණාබර හදවතවූ මගේ ඇද, අවසරයි මට නික්මී යන්නට ඔබේ සොඳුරු මතකය අරගෙන.....

Saturday, October 29, 2011

දුක්බර අහස මම...


 අඳුරු වළාකුළු බර වෙලා
මොර සූරා වහින්නට අර අදින
දුක්බර අහස මම
වහින්නට නොහැකිව
සුසුම් සඟවා සිනාසෙන...
පීදුන ගොයම රැක ගත යුතු නිසා
කිරි වැදී නෙළන්නට...
 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .