Monday, December 26, 2011

ගොඩයා අයියා, හිච්චි මගේ යාළුවා...

යාළුවෝ... ජීවිතේට කොයි තරම් නම් යාළුවෝ එනවා යනවාද? පුංචි කාලෙන් පටන් ගත්තොත් ඕනම කෙනෙක්ගෙ මුල්ම යාළුවෝ වෙන්නේ අම්මයි තාත්තයිලු... ඊට පස්සේ?? ඊට පස්සේ අත්තම්මලා, සීයලා, නැන්දලා, මාමාලා, බාප්පලා, පුංචි අම්මලා, එයාලගේ ළමයි... කොයි තරම් කට්ටිය ජීවිතේට එනවද? ඒ අපිට ලං වෙන නෑදෑයෝ.. ඒ ඇරෙන්න? ඒ ඇරෙන්න තවත් කට්ටියක් අපේ ජීවිතවලට ලං වෙනවා. ඒ තමයි අපේ අම්මලා තාත්තලාගේ යාළුවෝ. ඉතින් පුංචිම පුංචි සන්ධියේදි අපිට පවුලෙන් පිට මුණ ගැහෙන මුල්ම යාළුවෝ වෙන්නේ අම්මගෙයි තාත්තගෙයි යාළුවන්ගෙ ළමයි...

ඉතින් ඔන්න ඔය වගේ හිච්චි සන්ධියේදි මටත් හිටියා අම්මගේ යාළුවන්ගෙ ළමයි යාළුවෝ රෑණක්. අක්කලා අයියලා වෙච්චි ඒ හැමෝගෙන්ම පුංචිම එකී වුනේ මම. පුංචි පුංචි එවුන් ගොන්නක් එකතු උනාම කොයි තරම් ලස්සනද, අන්න ඒ ලස්සන, සතුට, මිහිරියාව අපේ ජීවිතේවලත් පිරිලා තිබුනා.  ඉතින් ඒ දවස්වල අම්මගේ යාලුවන්ව අඳුන්වන්නෙත් ඒ ගෙවල්වල තියෙන සෙල්ලම් බඩුවලින්. චකබ්ලාස් එක තියෙන ගෙදර, පුංචි බෙර තියෙන ගෙදර ඒ වගෙ නම් ටිකක්. ඔය පුංචි බෙර තියෙන ගෙදර ගිහින් ඒ ගෙදර අක්කයි, අයියයි, අපේ අයියයි, මමයි බෙර ගහ ගහ ගේ වටේ පෙරහැරවල් යනවා මට තවම මැවිලා පේනවා. 


ගොඩවත්ත අයියත් ඒ විදියට යාළුවෙක් උන අපේ අම්මගේ හොඳම යාළුවෙක් ඇන්ටි කෙනෙක්ගෙ පුතෙක්. ඒ හිතවත්කම නිසාමයි ටියුෂන් නොකරන අපේ අම්මා ගොඩවත්ත අය්යට සිංහල උගන්නන්න  භාර ගත්තේ. මට වඩා අවුරුදු ගණනක් වැඩිමල් ගොඩවත්ත අයියාට හිටියේ එකම එක අයියෙක් විතරයි. පුංචි දගකාරි වෙච්චි මං ගොඩවත්ත අයියා ආවම "ගොඩයා! ගොඩයා!!" කිය කියා කී ගහ ගහ දුවනවා; පාඩම් මේසේ ලඟට වෙලා වද දිදී ඉන්නවා. නංගිලා නැති නිසාද මංදා මං මොනවා කරත් අයියා මට කවදාවත් සැර කරේ නෑ. ඒ උනාට අයියත් හරිම දඟයා. අපේ අම්මා හරිම අමාරුවෙන් තමයි අයියාව හොයාගෙන පාඩම කියලා දෙන්නේ. අපේ ගෙදර ආව ගමන් ගොඩයා අයියා කරන්නේ වත්තේ කොණේ තියෙන නමිනං ගහ ලඟට දුවන එක. ඒකේ ගෙඩි ටිකත් කඩාගෙන ඊලඟට දුවනවා කුඹුරට. එහෙමත් නැත්නම් ඇල ලඟට. වැඩිමනත් කුඹුරට දුවන්නේ තණකොල කරල් කඩන්න. ඒ ගොඩයා අයියා ඇති කරන පාට පාට ලව් බර්ඩ්ස්ලට. ඉතින් සමහර දවසට අපේ අයියයි මමයිත් එකතු වෙලා බජිරි මිටියක් කඩලා දෙනවා ගෙනියන්න. ඉස්සර අපි එහේ යන්නෙම ගොඩයා අයියා ඇති කරන කුරුල්ලොයි, මාළුයි බලන්න.

ඔන්න ඔය වගේ මං නිසා ඇති වෙන බොහොම දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගෙන ගොඩයා අයියා සිංහලවලට "D" 1කුත් ගත්තා මයේ හිතේ. කොහොමත් මං දන්න විදියට ගොඩයා අයියා හරි දස්සයා. චූටි කාලේ අපි එහේ ගියහම උල් සපත්තු කුට්ටමකුත් තිබුනා මට මතකයි. ඔන්න ඔය විදියට කාලය ගෙවිලා ගියා. කොයි තරම් ලොකු උනත් ගොඩයා අයියා අපේ ගෙදර ආව හැම දවසකම මුලින්ම නමිනං ගහ ලඟට යන්නනම් අමතක කරේ නෑ. මට හොඳටම මතකයි මං අන්තිමටම ගොඩයා අයියාට "ගොඩයා" කියලා කෑ ගැහුවේ මං 8 වසරේ ඉන්දැද්දි. එතකොටනම් ගොඩයා අයියා ලොකුම ලොකුයි. ඒත් එදාත් කරේ හිනා උන එක විතරමයි.

දවසක් මං ඉස්කෝලෙ ගිහින් බස් එකෙන් එනකොට ඒ බස් එකේම ගොඩයා අයියා හිටියා. මං ඉස්සර සුදු ගවුමෙන් ඉන්නකොට හරිම බයයි. ඉතින් මට බය හිතුනා මං ගොඩයා අයියා එක්ක කතා කරොත් කවුරු හරි වැරදියට හිතයි කියලා. ඉතින් මං කරේ ඒ පැත්ත නොබලාම හිටිය එක. මට හිතුනා ගොඩයා අයියා තරහා වෙයි කියලා. ඒත් මගේ බය ඊට වඩා වැඩියි. අඩුම තරමේ මං හිනා උනේවත් නෑ.

තවත් අවුරුදු කිහිපයක් ගෙවිලා ගියා. ඒ වෙනකොට මං උසස් පෙළ පන්තිවල. ගොඩයා අයියා කොළඹ රස්සාවක.  දවස හරියටම කියනවනම් මීට අවුරුදු හතකට කලින් අද වගේ දවස. ඒ කිව්වේ 2004 දෙසැම්බර් 26. අපේ පවුලේ හැමෝම සංගාට පින් සිද්ධ වෙන්න බේරුනා කියලා මං කලින් දවසක් කිව්වනේ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා සැනසුම් සුසුම් හෙලද්දී පහුවදා දුරකතන ඇමතුමක් ආවා.
සුනාමිය මගේ ජීවිතෙන් මගේම සහෝදරයෙක් වගේ හිටිය ගොඩයා අයියව උදුරගෙන. නපුරු මුහුද ඒ තරම් දක්ෂ, ඒ තරම් හයිය හත්තිය තිබුන ගොඩයා අයියට බේරෙන්න ඉඩ දීලා නෑ. ගෙදර නොඑන්නත් ඉදලා අවාසනාවට ආයෙම අයියාට ගෙදර එන්න හිතිලා. හිනා වෙවී ගෙදර එන්න කොච්චියට නැගපු ගොඩයා අයියා ගෙදර ඇවේ හැමෝමව අඬවමින්. මට පුදුම දුකක් දැනුනේ. ඒ තරම් ලෙංගතුකමක්, සහෝදරත්වයක් මගේ හිතේ තිබුනා කියලා මංවත් දැනගෙන හිටියේ නෑ.

අපරාදේ හොඳ දරුවා කියලා හැමෝඅම දුක් උනා. ඒ තරමට ගොඩයා අයියා හැමෝගෙම හිත් දිනාගෙන හිටියා. ගොඩයා අයියා අපිව දාලා ගිහින් දවස් කීපෙකින් අපේ ගෙදර තිබුන නමිනං ගහත් මැරුනේ අයියා ආයෙත් නො එන දුකට වගේ.

අවුරුදු හතක් ගෙවිලා ගිහින්. ඒත් ගොඩයා අයියගේ මතකය තවමත් මගේ හිතේ තියෙනවා. මතු භවයෙදි ආයේ කවදාවත් ගොඩයා අයියාට මේ වගේ අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා...

අයියේ ඔබට නිවන් සුව!

ප.ලි: නම පමණක් මනංකල්පිතයි.

14 comments:

Weni said...

ජීවිතයක් ... ජීවිත දස දහස් ගනනක් අපිට අපේ හිතවතුන් නැති කරල ඒ කුරිරු දවස ජීවිත කාලෙටම මේ වගේ හොලමන් කරාවි මියෙන තුරාවටම !

මධුරංග said...

මේ ලිපියේ මුල් ටික කියවගෙන යනකොට තිබ්බ සතුට අන්තිමේදි ඉතුරු වෙලා තිබුනේ නෑ. ගොඩයා අයියා ගෙනාපු ආයිෂ ඉවර වෙලා වෙන්ටෑ.

අපි ගොඩයා අයියට නිවන් සුව පතමු ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා.

පොඩි මෑන් said...

අද හැමෝම පරණ මතක අවුස්සනව වගෙයි....

prasanna86k said...

තව කී දෙනෙක් නැති වෙන්න ඇත්ද ඔය වගේ... හ්ම්...

Raj said...

ගොඩයා අයියාට නිවන්සුව පතමි...මේ ලොචක්ක්‍රයේ මතු කිසිදිනේක අකල් මරන අත් නොවේවා...

නිසුපා said...

ගොඩයා අයියාට නිවන් සුව...

වෙන කියන්න දෙයක් හිතට එන්නේ නෑ.:((((((((

Podi Kumarihami said...

මම හිතුවේ සම්පූර්නයෙන්ම වෙන කතාවක් කියන්ට යනවා කියලනේ.

ගොඩයා අයියාට නිවන් සුව පතනවා.

Podi Kumarihami said...

මම හිතුවේ සම්පූර්නයෙන්ම වෙන කතාවක් කියන්ට යනවා කියලනේ.

ගොඩයා අයියාට නිවන් සුව පතනවා.

අසරණයා said...

මං හිතුවේ ඔයාගේ පොඩි කාලේ ගැන රසවත් මතකයක් කියන්න හදනවව් කියල.එත් අන්තිමේදී හරි සංවේදී
ගොඩය යයට නිවන් සුව !!

චතුමිතු said...

මමත් හිතුවේ පොඩි කාලේ ඇතිවුණු යාළුකමක් ගැන ලිපියක් කියලා..ඇත්තටම මීට අවුරුදු 7 කට කලින් අපි ආදරය කරපු,අපිට ආදරය කරපු කි දෙනෙක් ඔහොම අපෙන් ඇත් වෙලා ගියාද..? අවසන් වශයෙන් ඔයාගේ සහොදරයට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..

හිස් අහස said...

මටත් ඉතින් ඔය සහෝදරයාට නිවන් සුව පතන එක තමා කරන්න තියෙන්නේ . පොඩි කාලේ මතයන් ලේසියෙන් අමතකක කරන්න බෑ මොකද අපි හිතින් ඒ කාලෙට ඒ කාලේ හිටපු අයට ගොඩාක් ආදරේ නිසා .

Najath Akram said...

මට හිතා ගන්න බැරි උනා මොකක්ද මේ කියන්න යන්නේ කියලා.. බ්ලොග් දෙක තුනක ම ඒ විදියේ කතා දාලා පරණ මතක අලුත් කරලා තියෙනවා දැක්කා..
කියන්න දෙයක් හිතෙන්නේ නෑ.. මම අදහන ආගමේ හැටියට දෙවියන් ඔහුට ශාන්තිය උදා කරත්වා කියලා තමයි කියන්න වෙන්නේ..

වර්ණා said...

හරිම සංවේදී සටහනක්. මේ ගිය සතියේ අනතුරකින් මගේ සහෝදරයෝ දෙන්නෙකුත් නැති වුනා.. මෙවන් අකල් මරණ ඔවුන්ට මතු බවයේදී අත් නොවේවා...

මන්තරකාරි said...

Weni: සත්තකින්ම... කවදාවත් අමතක නොවේවි ඒ කුරිරු දවස...

මධුරංග: ඒ සතුට පිරුණ කතාව නපුරු මුහුද දුක්බර කරලා...

පොඩි මෑන්: පොඩිමෑන්ගේ මතකයත් මං කියෙව්වා. හරිම සංවේදියි. ඔහුටත් අපෙ ආගමේ විදියට නිවන් සුව...

ගෝල්ඩ් ෆිෂ්: හ්ම්...

රාජ්: ස්තූතියි...

නිසුපා: ස්තූතියි...

පොඩි කුමාරිහාමි: පොඩ්ඩි මොනවද හිතුවෙ??

චතුමිතු: පොඩිම පොඩි කාලේ ඇතිවුන යාලු කමක් තමයි...

සඳරු: ඇත්තෙන්ම ඒ මතකය හරිම සුන්දරයි...

Najath Akram: එසේ වේවා...

වර්ණා: ඔබේ සොහොයුරන් දෙදෙනාටත් නිවන් සුව...

Post a Comment

සිංහලෙන් මතුරන්න අමාරු නම් යුනිකෝඩ් එසැණින් පරිවර්තකය පාවිචිචි කරන්න.

 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .