Monday, December 26, 2011

ගොඩයා අයියා, හිච්චි මගේ යාළුවා...

යාළුවෝ... ජීවිතේට කොයි තරම් නම් යාළුවෝ එනවා යනවාද? පුංචි කාලෙන් පටන් ගත්තොත් ඕනම කෙනෙක්ගෙ මුල්ම යාළුවෝ වෙන්නේ අම්මයි තාත්තයිලු... ඊට පස්සේ?? ඊට පස්සේ අත්තම්මලා, සීයලා, නැන්දලා, මාමාලා, බාප්පලා, පුංචි අම්මලා, එයාලගේ ළමයි... කොයි තරම් කට්ටිය ජීවිතේට එනවද? ඒ අපිට ලං වෙන නෑදෑයෝ.. ඒ ඇරෙන්න? ඒ ඇරෙන්න තවත් කට්ටියක් අපේ ජීවිතවලට ලං වෙනවා. ඒ තමයි අපේ අම්මලා තාත්තලාගේ යාළුවෝ. ඉතින් පුංචිම පුංචි සන්ධියේදි අපිට පවුලෙන් පිට මුණ ගැහෙන මුල්ම යාළුවෝ වෙන්නේ අම්මගෙයි තාත්තගෙයි යාළුවන්ගෙ ළමයි...

ඉතින් ඔන්න ඔය වගේ හිච්චි සන්ධියේදි මටත් හිටියා අම්මගේ යාළුවන්ගෙ ළමයි යාළුවෝ රෑණක්. අක්කලා අයියලා වෙච්චි ඒ හැමෝගෙන්ම පුංචිම එකී වුනේ මම. පුංචි පුංචි එවුන් ගොන්නක් එකතු උනාම කොයි තරම් ලස්සනද, අන්න ඒ ලස්සන, සතුට, මිහිරියාව අපේ ජීවිතේවලත් පිරිලා තිබුනා.  ඉතින් ඒ දවස්වල අම්මගේ යාලුවන්ව අඳුන්වන්නෙත් ඒ ගෙවල්වල තියෙන සෙල්ලම් බඩුවලින්. චකබ්ලාස් එක තියෙන ගෙදර, පුංචි බෙර තියෙන ගෙදර ඒ වගෙ නම් ටිකක්. ඔය පුංචි බෙර තියෙන ගෙදර ගිහින් ඒ ගෙදර අක්කයි, අයියයි, අපේ අයියයි, මමයි බෙර ගහ ගහ ගේ වටේ පෙරහැරවල් යනවා මට තවම මැවිලා පේනවා. 


ගොඩවත්ත අයියත් ඒ විදියට යාළුවෙක් උන අපේ අම්මගේ හොඳම යාළුවෙක් ඇන්ටි කෙනෙක්ගෙ පුතෙක්. ඒ හිතවත්කම නිසාමයි ටියුෂන් නොකරන අපේ අම්මා ගොඩවත්ත අය්යට සිංහල උගන්නන්න  භාර ගත්තේ. මට වඩා අවුරුදු ගණනක් වැඩිමල් ගොඩවත්ත අයියාට හිටියේ එකම එක අයියෙක් විතරයි. පුංචි දගකාරි වෙච්චි මං ගොඩවත්ත අයියා ආවම "ගොඩයා! ගොඩයා!!" කිය කියා කී ගහ ගහ දුවනවා; පාඩම් මේසේ ලඟට වෙලා වද දිදී ඉන්නවා. නංගිලා නැති නිසාද මංදා මං මොනවා කරත් අයියා මට කවදාවත් සැර කරේ නෑ. ඒ උනාට අයියත් හරිම දඟයා. අපේ අම්මා හරිම අමාරුවෙන් තමයි අයියාව හොයාගෙන පාඩම කියලා දෙන්නේ. අපේ ගෙදර ආව ගමන් ගොඩයා අයියා කරන්නේ වත්තේ කොණේ තියෙන නමිනං ගහ ලඟට දුවන එක. ඒකේ ගෙඩි ටිකත් කඩාගෙන ඊලඟට දුවනවා කුඹුරට. එහෙමත් නැත්නම් ඇල ලඟට. වැඩිමනත් කුඹුරට දුවන්නේ තණකොල කරල් කඩන්න. ඒ ගොඩයා අයියා ඇති කරන පාට පාට ලව් බර්ඩ්ස්ලට. ඉතින් සමහර දවසට අපේ අයියයි මමයිත් එකතු වෙලා බජිරි මිටියක් කඩලා දෙනවා ගෙනියන්න. ඉස්සර අපි එහේ යන්නෙම ගොඩයා අයියා ඇති කරන කුරුල්ලොයි, මාළුයි බලන්න.

ඔන්න ඔය වගේ මං නිසා ඇති වෙන බොහොම දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගෙන ගොඩයා අයියා සිංහලවලට "D" 1කුත් ගත්තා මයේ හිතේ. කොහොමත් මං දන්න විදියට ගොඩයා අයියා හරි දස්සයා. චූටි කාලේ අපි එහේ ගියහම උල් සපත්තු කුට්ටමකුත් තිබුනා මට මතකයි. ඔන්න ඔය විදියට කාලය ගෙවිලා ගියා. කොයි තරම් ලොකු උනත් ගොඩයා අයියා අපේ ගෙදර ආව හැම දවසකම මුලින්ම නමිනං ගහ ලඟට යන්නනම් අමතක කරේ නෑ. මට හොඳටම මතකයි මං අන්තිමටම ගොඩයා අයියාට "ගොඩයා" කියලා කෑ ගැහුවේ මං 8 වසරේ ඉන්දැද්දි. එතකොටනම් ගොඩයා අයියා ලොකුම ලොකුයි. ඒත් එදාත් කරේ හිනා උන එක විතරමයි.

දවසක් මං ඉස්කෝලෙ ගිහින් බස් එකෙන් එනකොට ඒ බස් එකේම ගොඩයා අයියා හිටියා. මං ඉස්සර සුදු ගවුමෙන් ඉන්නකොට හරිම බයයි. ඉතින් මට බය හිතුනා මං ගොඩයා අයියා එක්ක කතා කරොත් කවුරු හරි වැරදියට හිතයි කියලා. ඉතින් මං කරේ ඒ පැත්ත නොබලාම හිටිය එක. මට හිතුනා ගොඩයා අයියා තරහා වෙයි කියලා. ඒත් මගේ බය ඊට වඩා වැඩියි. අඩුම තරමේ මං හිනා උනේවත් නෑ.

තවත් අවුරුදු කිහිපයක් ගෙවිලා ගියා. ඒ වෙනකොට මං උසස් පෙළ පන්තිවල. ගොඩයා අයියා කොළඹ රස්සාවක.  දවස හරියටම කියනවනම් මීට අවුරුදු හතකට කලින් අද වගේ දවස. ඒ කිව්වේ 2004 දෙසැම්බර් 26. අපේ පවුලේ හැමෝම සංගාට පින් සිද්ධ වෙන්න බේරුනා කියලා මං කලින් දවසක් කිව්වනේ. ඉතින් අපි කට්ටියම එකතු වෙලා සැනසුම් සුසුම් හෙලද්දී පහුවදා දුරකතන ඇමතුමක් ආවා.
සුනාමිය මගේ ජීවිතෙන් මගේම සහෝදරයෙක් වගේ හිටිය ගොඩයා අයියව උදුරගෙන. නපුරු මුහුද ඒ තරම් දක්ෂ, ඒ තරම් හයිය හත්තිය තිබුන ගොඩයා අයියට බේරෙන්න ඉඩ දීලා නෑ. ගෙදර නොඑන්නත් ඉදලා අවාසනාවට ආයෙම අයියාට ගෙදර එන්න හිතිලා. හිනා වෙවී ගෙදර එන්න කොච්චියට නැගපු ගොඩයා අයියා ගෙදර ඇවේ හැමෝමව අඬවමින්. මට පුදුම දුකක් දැනුනේ. ඒ තරම් ලෙංගතුකමක්, සහෝදරත්වයක් මගේ හිතේ තිබුනා කියලා මංවත් දැනගෙන හිටියේ නෑ.

අපරාදේ හොඳ දරුවා කියලා හැමෝඅම දුක් උනා. ඒ තරමට ගොඩයා අයියා හැමෝගෙම හිත් දිනාගෙන හිටියා. ගොඩයා අයියා අපිව දාලා ගිහින් දවස් කීපෙකින් අපේ ගෙදර තිබුන නමිනං ගහත් මැරුනේ අයියා ආයෙත් නො එන දුකට වගේ.

අවුරුදු හතක් ගෙවිලා ගිහින්. ඒත් ගොඩයා අයියගේ මතකය තවමත් මගේ හිතේ තියෙනවා. මතු භවයෙදි ආයේ කවදාවත් ගොඩයා අයියාට මේ වගේ අකල් මරණයක් නොවේවායි ප්‍රාර්ථනා කරනවා...

අයියේ ඔබට නිවන් සුව!

ප.ලි: නම පමණක් මනංකල්පිතයි.

Thursday, December 22, 2011

කලකට පස්සේ... ෂ්ෂ්ෂ්...

කොහොමද ඉතින් කලකට පස්සේ... කට්ටියට දැන් මන්තරකාරි මතකත් නැතිව ඇති. මා ඉතින් යන්න යනවා කිව්වා වගේම මා ගියා වගේ උනා නොවැ. මන්තරකාරිට මොනවා උනාද කියලත් හිතනවා ඇති. මන්තරකාරිට වැඩ ගොඩාක් තිබුනේ නෑ. අලුතෙන් කැම්පස් ගියේ නෑ. එක්සෑම් තිබුනේ නෑ. අලුත් රස්සාවකට ගියේ නෑ. ලෙඩ උනේ නෑ. එතකොට මන්තරකාරිට මොකද උනේ???

මේකනේ කේස් එක... මන්තරකාරි ඉතින් කැලයක් මැද පාළු බංගලාවක හැංගිලානේ ඉන්නේ. ඒ ඉතින් කවුරුත් මන්තරකාරි කව්ද කියලා දැන ගන්නවට කැමති නැති නිසා. මන්තරකාරි කව්ද කියලා කට්ටිය දැන ගත්තම මන්තරකාරිට ලියන්න ලැජ්ජයි ලැජ්ජයි වගේ. එහෙව් මන්තරකාරි කව්ද කියලා හොයන්න කට්ටිය විදින දුක දැක්කම ලියන්න කම්මැලි හිතුනා. නපුරු මන්තරකාරියෙකුටත් බය නැති හැටි... මේ වගේ වැදගත් ලස්සන නමක් අත ඇරලා වෙන නමකින් ලියන්න හිතුනෙත් නෑ. ඉතින් ඔන්න ඕකයි මන්තරකාරි අතුරුදන් උනේ...


දැන් ලෝකයා හිනා වෙනවත් ඇති මොකටද මෙච්චර හැංගෙන්නේ කියලා. එහෙම තමයි වැදගත් කට්ටිය. ඒත් මං ඇයි එක්කෙනෙක් නිසා ලියන එක නවත්තන්නේ... මං ආයිත් ලියනවා. ඔන්න මන්තරකාරි කව්ද කියලා උපකල්පනය කරපු, හොයා ගනිපු කවුරුත් කාටවත් කියන්න ඔට්ටු නෑ හරිද??? ප්‍රොමිස්???


 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .