Thursday, June 30, 2011

මතක මංපෙත - අවසාන කොටස

දිනෙන් දින තරූට සඳුනිගේ ආත්මාර්තකාමිත්වයක් පෙන්නුම් වූයේ ඇයට සිදුවූ අකටයුතුකම්වලට අමතරව ඇය ඉදිරියේ අනෙක් යෙහෙළියන්ට සැලකූ ආකාරය පිළිබදව සිතේ නොමනාපයක් එක් වෙමින් තිබූ නිසාය. වරෙක සඳුනි කළ නපුරුකමෙකින් හැඬුවේ තරූ පමණක් නොවීය. 

'මම ආයෙ කවදාවත් එයා එක්ක කතා කරන්නේ නෑ' තරූ ඉටා ගත්තේ සඳුනි කළ දෙයින් සිංහල අවුරුදුදා මුළු ගෙදරම සතුට නැති වූ නිසාය. ඇය නිසා අම්මගේ ඇසින් කදුළු වැටුන නිසාය.

"තරිඳු අයියා ඔයාට කෝල් කරාද?" සඳුනිගෙන් ඈත් වීමට තීරණය කර දින 2-3කින් සඳුනි තරූ ඇමතුවාය.

"නෑ...ඇයි?"

"පොඩි අවුලක්..." කෙතරම් හිත නරක් වී සිටියත් සඳුනි කී සැටියට තරූට මග හරින්නට සිතුනේ නැත. කුමන අවුල වුවත්, ඔවුන් සඳුනිගේ නිවසේ දුරකතන අංකය ඇරෙන්නට දන්නේ තරූගේ නිවසේ දුරකතන අංකය පමණි.

අවුල කුමක් වුවත් එය දුරකතනයෙන් කීමට මැලිවන තරමට ඇය බිය වී සිටි නිසා තරූ සඳුනී හමු වීමට ගියාය.

"තරිඳු අයියා කෝල් කරලා මං රූම් එකෙන් ෆෝන් 1 උස්සනකොටම තාත්තා සාලේ ෆෝන් 1 ඉස්සුව"

"ඉතින් එයා මොනවද කිව්වේ?"

"මොනවත් කිව්වෙ නෑ... හෙලෝ නගා කියනකොටම මට සාලේ 1 ඉස්සුවා කියලා තේරිලා කට් කරා" බය වෙන්නට තරම් දෙයක් වී නැත. කතා කර ඇත්තේ තරිඳු අයියාය.

"එයා ඔයාලගෙ ගෙදරට කෝල් කලොත් මට කෝල් කරන්න එපා කියන්න"

"හ්ම්ම්..."

තරූගේ නිවසට එම ඇමතුම පැමිනිණි. තරිඳු අයියා පළමු වතාවට තරූට ඇමතුවේය.

"හෙලෝ..." තරූ දුරකතනය ගත්තාය. නැත. ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත.

"හෙලෝ..." ඒ ඔහුම බව CLI නැතත් ඇයට විස්වාශය. එහෙත් ඔහු කතා කරන්නේ නැත.

"හෙලෝ..." නම කියා ඇසීමට නොහැක. තරූගේ පියා තරූ අසලම විය.

"හෙලෝ..." තරූ නැවතත් කීවාය. ඔහු වචනයක්වත් නොකියා ඇමතුම විසන්දි විය.

ඔහු එහෙම කලේ ඇයිදැයි තරූ කල්පනා කලාය. ඔහු විභාගය අවසන් වන තුරු කතා නොකරන්නට සිතා සිටි නිසාද?

ප්‍රශ්නයක් නොවී එම සිදුවීම විසදුනි. කෙමෙන් කෙමෙන් කල් ගත වෙද්දි සඳුනී අළුත් පෙරළියක් කළාය.

"තරිඳු අයියා කෝල් කරාද?" තවත් දිනෙක සඳුනීගෙන් ඇමතුමක් ආවාය.

"නෑ..." ආයෙත් ගෙදරට මාට්ටු වෙන්න ගිහින්වත්ද...

"තරිඳු අයියා කෝල් කරලා ඔයාට හොඳටම බැන්නා"

ඔහු එසේ බනින්නට තරූගේ අතින් කිසිවක් සිදු වූයේ නැත. මේ මොන ගිනි ගෙඩියක්දැයි තරූ සිතුවාය. අවසන ඇය සිදු වී ඇති දෙය දැන ගත්තාය. සඳුනී අසංක අයියා සමඟ සම්බන්ධය නතර කරන්නට තීරණය කර ඇත. එයට හේතුව වී ඇත්තේ තරිඳු අයියා තරූට කරදර කිරීමට බව ඇය පවසා ඇත.

'ඒත් කවදාවත් තරිඳු අයියා මට කරදර කරලා නෑනෙ...' තරූ කල්පනා කලාය. අනෙක් අතට තරූ වෙනුවෙන් උපකාරක පන්තියක වෙලාවක් වෙනස් කර ගැනීමට අකමැති සඳුනී මෙතරම් දෙයක් කළේ ඇයිදැයි ඇයට සිතා ගත නොහැකි වි‍ය.

හේතුව කුමක් වුවත් තරූ හේතුපාදක කරගෙන ඇය නොදැනුවත්ව මහා විප්ලවයක් සිදුවෙමින් පැවතුනි. සඳුනිගේ තීරණය පිළිබඳ ඉතිරි මිතුරන් තිදෙනාත් අසංකා අක්කාත් චෝදනා කර තිබුනේ තරිඳු අයියාටය. සැමගේ බැනුම් හමුවේ ඔහු සඳුනී අමතා තරූට බැන වැද ඇත.

ඔවුන්ට ප්‍රශ්නය තමානම් ඔවුන් තමා ඇමතිය යුතු බව තරූ සිතුවාය. කෙසේ නමුත් කිසිවක් නොදත් ඇය අන්ද මන්දව සිටියාය. ඇය කල්පනා කලාය. විසදුමක් සිතුවා‍ය. සිදුවී ඇත්තේ සැම අතින්ම තරූ අකමැති දෙවල්ය. කිසිවෙක් කැප වීමක් කර එය කළේ එම හේතුව නිසායැයි කියන්නේනම් එය කැපවීමක් වන්නේ නැත. අනෙක් අතට තරූ නොදැන ඇය ගැන ඔවුහු මහා ගොඩක් දේ කතා වූවෝය. කුමක් කෙසේ සිදු වුවත් ප්‍රශ්නය ඇති වුයේ තමාත් තරිඳු අයියාත් නිසානම් එය තමා විසදිය යුතුය.

තරූට විසදුම් 2ක් සිතුනි. එකක් ඇය සඳුනීගෙන් ඈත් වීමය. අනෙක තමා තරිඳු අයියා සමඟ කතා කර විසදුමකට පැමිනීමයි. එහෙත් තරූට සඳුනිට ඇගෙන් ඇත් වන ලෙස කීමට වචන ගලපා ගත නොහැක. කෙතරම් සිත් රිදවීම් සිදු වුවද එසේ කීමට ඇගේ දිව නැවෙන්නේ නැත. ඇය සඳුනීට ලිපියක් ලිව්වාය. එම විසදුම හරි නොයන බව තෙරුන තරූ තරිඳු අයියා සමඟ කතා කිරීමට ඉටා ගත්තාය. තමාත් තරිඳු අයියාත් නිසා ඇතිවූ ප්‍රශ්නය විසදීමට ඔහු සමඟ කතා කර ඕනෑම පියවරක් ගැනීමට තරූ තීරණය කළාය.

"මට තරිඳු අයියා එක්ක කතා කරන්න ඕනෙ" සඳුනිට කීවත් ඇය එයට ඉඩ දෙන්නේ නැත.

"කුරුණෑගල එයාගේ surname 1න් ඩිරෙක්ටරියේ ඉන්නෙ 57යි. මං ඒ හැමෝටම කතා කරලා තරිඳු අයියාගේ number 1 හොයා ගන්නද?" සඳුනි සිනා සුනා මිස ඔහුගේ දුරකතන අංක‍ය දෙන්නේ නැත.

"එයාට කියන්න මට කෝල් කරන්න කියලා" තරූ බලා සිටියාය. නැත. ඔහු කතා කරේම නැත. ඒ තරමටම ඔහු තරූ සමඟ තරහින් සිටියාද නැතනම් ඔහු පැත්තකට වූවාදැයි තරූ දන්නේ නැත.

"එහෙනම් A/L ඉවර උනාම මට කතා කරන්න කියන්න" තරූ කීවාය.

උසස් පෙළ විභාගය අවසන් විය. එහෙත් තරිඳු අයියා කිසිදිනෙක කතා කළේ නැත. සඳුනිත් අසංක අයියාත් අතර සම්බන්ධය නැවැතුනේද නැත.

දෙවන වර උසස් පෙළ කිරීම සඳහා මිතුරියෝ සියල්ලෝම උපකාරක පන්ති යාමට පටන් ගත්තෝය.. සමින්දි උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවූ නිසා තරූ තනිවී සිටියාය. මිතුරියන් සමඟම සිටියත් සිතින් ඔවුන්ගෙන් මදක් ඈත් වී සිටියාය.

අවසන ඇය දැන ගත් දෙයින් සඳුනී පිළිබඳ මහත් සේ කලකිරුනාය. සඳුනී අසංක අයියාගෙන් ඈත් වීමට උත්සාහ කිරීමට හේතු වූයේ ඔවුන්ගේ කේන්දර නොගැලපීම බව ඇයට අසන්නට ලැබුණි. තමා පාවා දුන් සඳුනීගෙන් තරූ සදහටම ඈත් වූවාය. එක් අතෙකින් එය සඳුනිට උදව්වක් වනු ඇතැයි ඇය සිතුවාය. තරිඳු අයියා පිළිබඳ මතක මංපෙත එතෙකින් නිමා විය.

තරිඳු අයියා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැතිව වසර හයක් ගෙවී ගොස් ඇත. එම වසර හය තුල තරූ අහස විටෙක වලාකුළින් බර විය. විටෙක මහ වැසි ඇද හැලුනි. විටෙක ලස්සන තරුවක් දිලිසුනි. එහෙත් ඒ කිසි විටෙක නොපායාම බැස ගිය තරිඳු මඬල අමතකව ගියේ නැත.
 

තරූගේ ජීවන මං පෙතේ සිදුවූ සෑම වැදගත් සිදුවීමකටම පාහේ එම මතකය බලපෑවේය. ඇය ඔහු එනතුරු බොහෝ කලක් බලා සිටියාය. ඇය මූණු පොත පීරා ඔහු සෙව්වාය. විටෙක අන්තර්ජාලය පුරා සෙව්වාය. එහෙත් ඇයට ඔහු සොයා ගත නොහැකි විය.
 

අද ඔහු කොහේ හෝ දක්ෂ වෛද්‍යවරෙක් වී සිටිනවා ඇත. තරූ අවසන් වසර විශ්ව විද්‍යාල සිසුවියකි. ඇගේ ලොවට අද සරා සඳක් පායා ඇත. එහෙත් අදටත් කොණ්ඩය දිග කටකාරිය පොල් කුමාරයා සොයයි. ඒ පොල් කුමාරයාට කිව යුතු එකම එක දෙයක් වෙනුවෙනි.
 

"මං නිසා උනු හැම දේටම සමාවෙන්න..."  

මතක මංපෙත - 9

'නාදුනන රටක රෝහල් ඇදක් මත ඔහු විදවන්නේ තමා නිසා නොවේද...' තරූගේ සිතට මහත් බරක් එක් වුනි.

දිනෙන් දින හිතට එකතුවන බර මෙපමණෙකැයි කිව නොහැකි තරමට තරූ හිතින් විදෙව්වාය. කිසි දිනෙක දැක නැති තරිඳු අයියා හිතෙන් මවා ගන්නට තැත් කළාය. ආදරයක්ද අනුකම්පාවක්දැයි වටහා ගත නොහැකි යම්කිසිවක් ඇගේ සිත තුල තෙරපුණි. කෙසේ නමුත් ඔහු ඇගේ සිහින කුමරු බවට පත් වී සිටියේය. එහෙත් ඒබවක් ඇය කිසිවෙකුට නොඇඟවූවාය. වරෙක ඇය ඔහුගෙන් ගැලවීමට ක්‍රම විදි සෙව්වාය.

"සඳුනී = තරූගේ සහෝදරිය ->1
සඳුනී = තරිඳුගේ සහෝදරිය -> 2
1 හා 2න්
තරූ= තරිඳුගේ සහෝදරිය

තරූ සමගාමී සමීකරණයක් විසඳා සඳුනීට ඔවුන් දෙදෙනා අතර සම්බන්ධයක් ඇති විය නොහැකි බව විස්තර කලාය.

එහෙත් ඇයට දැනුනේ ඇය මහත් පවක් කළ එකියක ලෙසය. ඇය ඇය ගැනම කෙතරම් කලකිරී සිටියාද යත් ඇය සදහටම මස්,මාළු කෑම අතහැරියාය. තරූට තවත් දුක හිතුනේ අසංක අයියාගේ වැඩිමහල් සහෝදරිය වූ අසංකා අක්කාගේ විවාහ මංගලෝත්සවය ලං වූ විටය.

අසංකා අක්කා සහෝදරියක වූයේ අසංක අයියාට පමණක් නොවන බැව් තරූ අසා ඇත. ඇය ඔවුන් සිව් දෙනාගේම අක්කාය. ඇගේ විවාහයට ලංකාවේ සිටින්නේ තමා පමණක් බව තරිඳු අයියා උදම් අනමින් සිටියේය. එහෙත් ඉතිරි තිදෙනාම ලංකාවට පැමිණෙද්දී දෙමසකට පෙර ලංකාව හැර ගිය තරිඳු අයියාට පමණක් පැමිණිය නොහැකි විය. යොහාන් අයියාගේ පලපුරුදු බෙස්මන්වරයා තනතුර පිළිබඳවත්, හස්බන්වරු, බෙස්මන්වරු ආනයනය කළ විවාහය පිළිබඳවත් සඳුනි සමඟ සිනා සෙමින් කතා කරද්දී තරූගේ සිතේ කොනක තරිඳු අයියා වෙනුවෙන් දුකක් ඉතිරිව තිබුණි.

ලංකාවට සිදුවූ මහා ව්‍යසනය වූයේ මේ අතරතුරය. සුනාමියක් පිළිබඬ අසාවත් නොතිබුන සැවොම එදා සිතුවේ මුහුද ගොඩ ගලා ලංකාවම යටවනු ඇති බවෙකි. වාසනාවට එදින තරූට පන්ති නිවාඩුය. තරූගේ මව කෙතරම් බිය වීද යත් 'අනේ මගේ දරුවෝ දෙන්නා'යැයි විලාප නැගුවේ මුහුද ගොඩ ගලනවායැයි ආරංචියටය. තරූගේ මුහුද කිට්ටුවම ජීවත් වූ පුංචි අම්මාත්, ලොකු අම්මාගේ දුවත් ඇරෙන්නට ගමේ සිටි පුංචි අම්මලා අක්කලාද එදින පුංචි අම්මලාගේ නිවසට පැමිණ සිටියෝය. ඔවුන්ගේ ජීවිත පිළිබඳව තියාගත හැකි වූයේ බලාපොරොත්තුවක් පමණි. එහෙත් ඔවුහු දිවි ගලවාගෙන ඇදිවත පමණක් ඉතිරිව  තරූගේ නිවෙසට ගොඩ වැදී සැවොම සතුටු කඳුළු හෙලුවෝය. 

පුංචි අම්මලාත් ඔවුන්ගේ අසල්වැසියනුත් පැමිණ තරූගේ නිවෙස පිරී ඉතිරී තිබුණි. කෙමෙන් දුරකතන අවහිරතා මඟ ඇරෙද්දී තරිඳු අයියා කතා කරාවියැයි තරූට නිකමට සිතුනි. ඇය නිදි වරා දුරකතන ක්‍රියාකරවන්නිය බවට පත් විය. එහෙත් පැමිණි ඇමතුම් අතරේ ඔහුගෙන් ඇමතුමක් තිබුණේ නැත.

"හැමෝටම කට්ටිය හොයාගෙන ආව. මං ගැන විතරක් කවුරුත් හෙව්වෙ නෑ..." පසු දිනෙක තරූ සඳුනිට පොත පෙරළුවේ සුනාමි‍ය අතරේ අසංක අයියා සඳුනී සෙවූ සැටිත්, ලොකු අම්මාගේ දුව සොයා ඇය විවාහ වීමට සිටි අයියා පමිණි සැටිත් කතා කරමිනි.

"ඔයා ගැනත් හෙව්වා..." සඳුනී බාගෙට වාක්‍ය නතර කළත් තරූට ඒ ඇතිය. එසේනම් ඔහු තමා ගැන සොයා බලා ඇත.

දින සති මාස ගත වී උසස් පෙළ විභාගය ලං වෙමින් පැවතුනි. 'තරිඳු අයියා ගැන හීන බලන එක නවත්තන්න' තරූ තමාටම අණ කළාය. එහෙත් ඇය ඔහු ගැන සිතුවාය. මේ අතරතුර තරූත් සඳුනීත් අතර පාඩම් කිරීමේ සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවතියේ සඳුනිට රසායන විද්‍යාව ඉගැන්වූ අයියා සිතින් මවා ගත් තරූගේ දක්ෂතාවයක් ගැන කියමින් සඳුනී උසි ගන්වමින් සිටි නිසාය. දිනෙන් දින තරූට සඳුනිගේ ආත්මාර්තකාමිත්වයක් පෙන්නුම් වූයේ ඇයට සිදුවූ අකටයුතුකම්වලට අමතරව ඇය ඉදිරියේ අනෙක් යෙහෙළියන්ට සැලකූ ආකාරය පිළිබදව සිතේ නොමනාපයක් එක් වෙමින් තිබූ නිසාය.



Monday, June 20, 2011

ඔයා ආසම සීනාටද?

සාතන්ගේ 'රාජාලි හෙවනැල්ලෙ නයා...' කියෙව්වම මටත් පොඩි පරණ කතාවක් මතක් උනා...ඕං ඕපදූප කියනවා කියලා බනිනවා හෙම නෙවේ... 

මන්තරකාරිත් ඉතින් ඔය විස්සවිජ්ජාලෙක ගිහින් තියෙනවනෙ. මේක විස්ස විජ්ජලෙට ගිය අලුත වෙච්චි දෙයක්... මුලදි ඉතින් අහිංසක පාට් එකෙන් ඉන්න කාලෙනෙ... මන්තරකාරි තරම් අහිංසක කෙල්ලෙක් බැච් එකේම නෑ...ඕං දවසක් බැච් එකේ කොල්ලෙක් පර්ස් එක අදිද්දි ඒකෙ ඇතුලෙ ජෝන් සීනාගෙ පින්තූරයක්...කොල්ලා දැකපි මන්තරකාරි පින්තූරෙ දැක්කා කියලා... 


"මේ ඉන්නෙ මගේ ලව් එක" කියලා වීරයා වගේ පර්ස් එකෙන් ජෝන් සීනා පුම්බගෙන ඉන්න පින්තූරෙ අරන් පෙන්නුව...


හී හී...මන්තරකාරි නොදන්න ජෝන් සීනා... ලඟදි බලන්න බැරි උනාට මන්තරකාරි රෙස්ලින් බලන්න ආසයි...

"අයියෝ ඔයා ආසම සීනාටද? මං ආසම බුකී මෑන්ට..." මන්තරකාරි කිව්වා... කොල්ලට කට උත්තර නැති උනා...

ප.ලි.: බුකී මෑන් අදුරන්නෙ නැත්නම් කතාව තේරෙන්නෙ නැති වෙයි මං හිතන්නෙ...

 අදාල පුද්ගලයෝ කියවා මාව අදුනා නොගනිත්වා...!

Sunday, June 19, 2011

මතක මංපෙත - 8


හවස් විය. රෑ විය. තවම ඇමතුමක් නැත. ඔහු call කරාවිද... නැද්ද...

දවස ගෙවී ගොස් හමාරය. නැත. ඔහු call කළේ නැත. ඇය ඈ කළ විහිළුව ගැන පසුතැවෙද්දී, ඔහුගෙන් සමාව අයැදීමට බලා සිටියදී, ඔහු සමඟ වචනයක් හෝ කතා කිරීමට බලා සිටියදී ඔහු නිසොල්මනේ ලංකාව හැර රුසියාව බලා පියාසර කර ඇත. පොල් කුමාරයා අද දොස්තරවරයෙක් වීමට රට හැර ගොස් ඇත. ඇය කලේ විහිළුවකි. එහෙත් ඒ විහිළුව අද කෙතරම් දුර ගොස් ඇත්ද... ඇය ඒ පිළිබද සිතින් දහස්වර වැලපුනාය.  

"ඊයේ තරිඳු අයියා call කරාද?" පසුදින උදෑසනින්ම පාසලේදී සඳුනී ඇසුවාය.

"නෑ..."

"ඊයේ තරිඳු අයියා call කරා. යන්න කලින් එකම එක සැරයක් ඔයාට call කරන්න ඇහුවා" සඳුනී කියද්දී තරූට දරා ගත නොහැකි විය. 'එයා මෙච්චර දෙයක් කරේ මං වෙනුවෙන්ද' ඈ සිතුවාය. ඔහුගේ ආදරය ඇත්තක් බව ඔප්පු කරන්නට මෙතරම් දෙයක් කළ යුතු නොවීය. ආදරය යනු දැනෙනා දෙයකි. ඇයට එය දැනුනේ ඔහු රට යන්නට තීරණය කළ විට නොව සඳුනි ඔහුගේ හිතේ තිබූ බලාපොරොත්තුව ගැන කිවූ දිනයේදිමය. ඇයට උවමනා වූයේ විභහගය අවසන් වන තුරු හිත පරිස්සම් කර ගැනීම පමණෙකි. එහෙත් ඇගේ නිහඬබව මහා ලොකු දෙයක් කර ඇත.

"ඉතින් call කරේ නෑනෙ."

"මං එපා කිව්වා"

"ඇයි ඒ?"

"මං කිව්වා වෙන කවුරුහරි phone 1 ගත්තොත් කියලා. අම්මා ගත්තොත් මොකද කියන්නෙ කියලා"

'ඔය කරලා තියෙන්නෙ වැඩක්...අපරාදෙනෙ මං phone 1 මුර කළේ ' තරූ සිතින් සිතුවාය.

"එතකොට එයා කියනවලු
'නැන්දම්මෙ...'
'ඇයි මගෙ බෑණෝ'
'මං මේ බෑණා කතා කරන්නෙ'
'ඉතින් ඒකනේ බෑණො බෑණ කිව්වෙ'
'මං ගොහින් දොස්තර විභාගේ පාස් කරලා එනකන් දුවව හොඳට බලා ගන්න'
කියලා කියනවලු" සඳුනි කට ඇද කර තාලයකට තරිඳු අයියාගේ දෙබස් කියද්දී තරූගේ සිතට සිහින් තරහවක් ආවේ ඇගෙ අම්මා විහිළුවකට ගාවා ගත් නිසාවෙනි.

"ඇයි මෙච්චර කල් බලා ගත්තෙ එයාද?" ඇය පෙන්නුවේ බොරු තරහවක් බව සඳුනීට නොතේරුනි.

'මං කවදාක හරි එයා එනකන් ඉන්නවා' තරූ සිතින් ඉටා ගත්තාට කිසිවෙකුටත් කීවේ නැත. එක් අතෙකින් ඇයට කීමට කිසිවෙකු නැත. සඳුනිට කීම වැලකුවේ ඇගේ ලැජ්ජාවද බියද නුවණද වෙනත් කිසියම් හේතුවක්ද එසේත් නැතිනම් ඒ සියල්ලේ සම්මිශ්‍රණයක්දැයි ඇයට නොතේරෙයි. මදුශිට කීමටද නොහැක. සමින්දි හොඳම මිතුරිය නොව සහෝදරියක් තරමට ලං වී සිටියත් තරිඳු අයියෙක් ගැන කියා සඳුනි පාවා දිය නොහැක. මොළය කොයි තරම් තරිඳු අයියා දොස්තරවරයෙක් වීම පිළිබද සිතා සතුටු වන්නට කීවත් ඇය සිතින් පව්කාරි‍යක් වූවාය. ඈ ඒ පවින් මිදීමට ක්‍රමයක් සෙවූවා‍ය. ඇය ඇත්තෙන්ම සිතින් විදෙව්වාය.

තරිඳු අයියා යොහාන් අයියා ලඟ නැවතීම සිතට අස්වැසිල්ලකි. එම නිවසේ හිමිකරුවන් යොහාන් අයියාටත් වඩා තරිඳු අයියාට හිතවත් වීම ඊටත් වඩා අස්වැසිල්ලකි. එහෙත් හදිසියේම සියල්ල කණපිට හැරෙන තොරතුරක් සඳුනිගෙන් ලැබුණි.

"තරිඳු අයියා accident වෙලා"

තරූ කිසිවෙක් කිසිවක් නොකියාම එය තම පව්වලට එක් කර ගත්තාය. 

"මොකද වෙලා තියෙන්නේ?" කම්පනයට පත් වුවත් ඒ බවක් නොපෙන්වා ඈ සඳුනිගෙන් ඇසුවාය.

"ගෙදරක් ඉස්සරහින් යද්දි එක පාරටම කාර් 1ක් පාරට දාල."

"තුවාල වෙලාද?"
"අතක් ඩැමේජ් වෙලා, හොස්පිටල් ඇඩ්මිට් කරල"

තරූට කෑ ගසා අඩන්නට ඕනෑ විය. එහෙත් එය කළ නොහැක. සමින්දිගේ ගෙදර ගියත් සිතට අස්වැසිල්ලක් නැත. අවසන ඇගෙන් සමින්දිට සිත කියැවුනි.
"පොල් ඇක්සිඩන්ට් වෙලා" සමින්දිට කිසිවක් මතක නොසිටින නිසා ඇය සමඟ කිසිවක් කිමට බය නැත.
"සඳුනිගේ නැන්දාගෙද කාගෙද පුතා?" උඩින් පාත් වූ එම චරිත‍ය සඳුනිගේ නැන්දාගේ පුතා කළේ සඳුනිගේ පෙම්වතා රහසක් කිරිමටය.
"හ්ම්ම්"
"ඉතින් උඹට මොකද?"
"අමාරුද දන්නෙ නෑ"
එක බොරුවක් වසන්නට තව බොරුවක්... එම බොරුව වසන්නට තවත් බොරුවක්... කෙසේ හෝ සඳුනි බේරා තරිඳු අයියා තමාට කැමති බව සමින්දිට කිවත් ඇයට තරු කියන්නට දඟලන දෙය නොතේරෙයි.

"ඉතින් බං මං ඌට කැමතියිනෙ..." දැන්නම් ඇක්සිඩන්ට් එක පිළිබද ලතවෙන හේතුව සමින්දිට තේරෙන්නට ඇත.

"ඒකද මේ ආව වෙලාවෙ ඉදලා පාඩම් නොකර සින්දු කිය කියා කල්පනා කර කර දැගලුවෙ..." 

කුමක් කීවත් සමින්දිට තව මොහොතකින් සියල්ල අමතක වන බව තරූ දැන සිටි නිසා හිතේ තිබූ දේ සමින්දිට කීම ගැන තරු පසුතැවිලි වූයේ නැත. එහෙත් ඇගේ සිතට ඇගේ අතින් සිදුවූ වරදක් වූ රිය අනතුර පිළිබද තදින්ම ඈ පසුතවිලි වූවාය. 'නාදුනන රටක රෝහල් ඇදක් මත ඔහු විදවන්නේ තමා නිසා නොවේද...' තරූගේ සිතට මහත් බරක් එක් වුනි.

Saturday, June 11, 2011

මතක මංපෙත - 7

තරූගේ සිතේ පාට පාට මල් පිපී ලස්සන චිත්‍රයක් ඇදෙන්නට විය.
 
"උඹ කැමතිද බේබද්දෙක් බදින්න?" තරූගේ හිතේ පුංචි වෙනසක් සඳුනිට තේරුණි. චිත්‍රය සැනෙන් බොද වී ගියේය.


"මට බඩ මහත කොප්පර මුදලාලි කෙනෙක් බදින්න බෑ"කිසි දිනක නොදුටු තරුණයෙක් නිසා ගැස්සී තිබූ සිත විහිළුවකින් වසන් කරන්නට ඇයට සිදු විය.
"තට්ටෙ පෑදුන... අතේ මුදු ගොඩකුයි බ්‍රේස්ලට් එකකුයි දාපු..." සඳුනි අඩුපාඩු එක් කළාය.


"ඇත්තටම එකට හිටි යාළුවෝ හතර දෙනාගෙන් ඉතිරි තුන් දෙනාම medicine, engineering ගියා. මෙයා විතරක් පොල් මුදලාලි කෙනෙක් වෙනවා නේද..." තරු කීවේ ටෙලි නාට්‍යක සිටි කලු මුදලාලිගේ රුව මවා ගනිමිනි.
...
...


"තරිඳු අයියා call කරා" සඳුනි කීවාය.
"මොනවද කිව්වෙ?"
"රට යනවා කිව්වෙ"
"කලින් දවසේ උණ හැදිල නවතියිද?" තරූ එය ගණන් නොගත්තේ විහිළුවක් කියා සිතාය.


එහෙත් එය විහිළුවක් නොවන බව තේරුණේ අත්තටම රට යාම සඳහා කටයුතු සූදානම් වෙද්දීය.


"යොහාන් අයියා රුසියාවට එන්න කියනවලු, අසංක අයියයි, සංක අයියයි එහේට එන්න කියනවලු, වෙනින්ම රටකට යන්නත් හිතෙනවලු" 


'ඇයි එයා එහෙම කරන්නේ? මං විහිළුවට කිව්ව දේ නිසාද?' තරූගේ සිත කැළඹී ඇත. එහෙත් කිසිවක් නොකීවාය.


"අම්මාව තනියම දාල යන එක තමයිලු ප්‍රශ්නෙ" ඔහු ගැනත් මව ගැනත් තරූට මහත් දුකක් දැනුනි. දුර ඈත රටකට යන්නට තනන්නේ නිකන්ම නිකන් කොල්ලෙක් නොවේ. සැමියා මිය ගිය මවකගේ එකම පුතාය. ඔහු නවත්වා ගත යුතුය. එහෙත් කොහොමද? නවතින්න කියන්නට හයියක් ඇයට නැත. ඔහු සමඟ කතා කිරීමට බියක් ඇයට දැනුනි. 


සඳුනීත් අසංක අයියාත් තරිඳු අයියාත් තමාත් අතර සම්බන්ධයක් ඇති වනවාට අකමැති බව තරූට තේරෙයි. ඔවුන්ගේ බිය සාධාරණය.
තරිඳු අයියා පිළිබඳ අසංක අයියා හොඳින්ම දනියි. තරූ පිළිබඳ සඳුනි හොඳින් දනියි. දෙදෙනාගේ නොගැලපීමක් ඔවුන් දකින්නට ඇත. තරිඳු අයියා සමඟ කතා කිරීමට අවැසි බැව් සඳුනිට කිව නොහැක.

'කමක් නෑ. එයාට හොඳක්නෙ වෙන්නේ...' අන්තිමේදි තරූ හිත හදා ගත්තාය.


රුසියාවට යාමට තීරණය කළ ඔහු රටින් පිටත් වන දිනය උදා විය. 'අදනම් මට call කරයි' A/L අවසන් වන තුරු කරදර නොකරන බවට පොරොන්දු වූ ඔහු අදවත් කතා කරාවියැයි තරූ මඟ බලා සිටියාය.


'අයියෝ flight 1 කියටද කියලාවත් සඳුනිගෙන් අහ ගන්න බැරි උනානෙ' දුරකථනය මුර කරන අතරතුර ඇය සිතුවාය.


හවස් විය. රෑ විය. තවම ඇමතුමක් නැත. ඔහු call කරාවිද... නැද්ද...

Sunday, June 5, 2011

Spare wheel...???

මගේ මිතුරිය බසයට ගොඩ වූයේ නිවසේ සිට කැම්පස් එකට යාමටය. බසය ගමන ආරම්භ කර මද වේලාවකින් යාබද අසුනේ වූ ඔහු ඇය සමඟ කතා කරන්නට විය.

කැම්පස්ද?
ඔව්
මොනවද කරන්නෙ?
...
...
...
...
boy කෙනෙක් ඉන්නවද?
ඔව්
කී දෙනෙක්?
මොකක්?
කැම්පස් girlsලට සාමාන්‍යයෙන් spare wheels ඉන්නවනෙ.

ඇයට යක්ෂාරූඬ විය. මේ ඔහු පැවසූ එකම දෙය නොවේ. විශ්ව විද්‍යාල සිසුන් මැරයන් ලෙස හංවඩු ගැසෙද්දී සිසුවියන් දෙස ඔබ මෙවැනි කෝණයකින් බැලීම සංවේගයට කරුණකි.

ඔබ spare wheel 1ක් ලෙස හඳුන්වන්නේ කවුරුන්දැයි මම නොදනිමි. කැම්පස් 1ක් යනු කුමක්දැයි නොදන්නා කෙනෙකුට batch fit 1 පිළිබඳ තේරුමක් නැත. batch fit 1 යනු සිසුන් අතර පමණක් තිබෙන දෙයක් නොවේ. ඔවුන්ගේ සහෝදරත්වයට සිසුන් සිසුවියන් කියා පිල් දෙකක් නැත. හැම කැම්පස් සිසුවෙක්/සිසුවියක් තම batch එකේ ඉතිරි සියලු දෙනාගේ පවුල් පසුබිම දන්නා බව ඔහු නොදැන සිටින්නට ඇත. කැම්පස් 1 තුල හෝ පිට පෙම්වතෙක්/ පෙම්වතියක් සිටින්නේ කාටද , නැත්තේ කාටදැයි ඔවුහු දනිති. spare wheel 1ක් වීමේ අවශ්‍යතාවයක් කාටහෝ ඇතයි මම නොසිතමි.

රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වේවා ඔවුන් එක්ව ඉගෙන ගනුයේ සමවයස් කණ්ඩායම්ය. එවන් සිසුවියකට සිටින්නේ හොඳම මිතුරියක් නොව මිතුරෙක් විය හැක. ඔබ spare wheel ලෙස හඳුන්වන්නේ ඔහුද? ඇය නොතේරුණ විෂය කරුණු අසා ගන්නේ මිතුරෙකුගෙන් විය හැක. ඔහු spare wheel 1ක්ද? Assignment 1ක් අවසන් කර ගත නොහැකිව හෝ වෙනත් විෂය බාහිර කටයුත්තකදී රෑ වූ විට ඇය බෝඩිමට දමන්නේ මිතුරෙක් විය හැක. ඔබ spare wheel කියන්නේ ඔහුටද? ඇගේ project group එකේ ඉතිරි සියල්ලෝ සහෝදර සිසුවන් විය හැක. ඔවුන් spare wheels ද? නිවසින් ගව් සිය ගණනක් දුර සිටින ඇයට සහෝදරයෙක් වන්නේ, ඇගේ දුක අසන්නේ, කඳුළු පිසින්නේ මිතුරෙක් විය හැක. ඔබ spare wheel ලෙස කියන්නේ ඔහුටද?

ඔබ පිළිබිඹු කළේ ඔබේ පෞද්ගලික මතයයි. එය ඔබේ පෞද්ගලික අත්දැකීමක් හෝ පෞද්ගලික වෛරයක් විය හැක. නමුත් ඔබ ඇඟිල්ල දිගු කළේ සියලු සිසුවියන්ටය. ඔබ නිග්‍රහ කළේ සමස්ට විශ්ව විද්‍යාල සිසු පරපුරටය.


සාධාරණීකරණය සඳහා ඔබ හමුවට...

Wednesday, June 1, 2011

මතක මංපෙත - 6

'ඈං... ඔන්න හිනාව නැති වෙන තැන. කියන්නේ ඊයේ තරිඳු අයියා මෙහේ ඇවිත්...' තරූ බිය වූවාය.
මොන තරම් හිත ගැස්සුනත් තරිඳු අයියාට රුබෙල්ලා විද්ද සීන් 1 තරූට මහත් සිනා සයුරක් වුයේ ඔහු එය ගැහැණු ළමුන්ට පමණක් ලබා දෙන එන්නතක් බව සිතා බිය වී සිටි නිසාය.
අඟහරුවාදා Physics පන්තිය අවසන් වී යෙහෙලියෝ පයින්ම ප්‍රධාන බස් නැවතුමට ගොස් බසයක වාඩි වී යාමට පුරුදුව සිටියහ.
'තරිඳු අයියා ඇවිත් ගියාද තවම මෙහේද දන්නෙ නෑ. මොකෝ ලඟට ඇවිත් පිහියෙන් ඇනලා ගියත් මං දන්නවද...' මග දිගට තරූගේ සිත දෙගිඩියාවෙන්, බියෙන් ගැහෙන්නට විය. එහෙත් ඇය සඳුනීගෙන් ඔහු පිළිබද විමසන්නට මැලි විය.
'මට මෙයාලා හැරුනත් තේරෙනවා. එයාලට මාව ඕන හැම වෙලාවෙම එයාලා එක්ක ඉන්නව. ඇයි මෙයාලට මං බය වෙලා ඉන්නේ කියලා තේරෙන්නේ නැත්තේ?' බයට අමතර කලකිරීමක් තරූගේ හිතට තම යෙහෙළියන් දෙදෙනා ගැන දැනුනේ සුපුරුදු පරිදි ඔවුන් දෙදෙනා එක සීට් එකක වාඩි වී ඈ තනියම වාඩි වීමට ඉතිරි වූ විටය.
'කමක් නෑ. මමමනෙ මේ වැඩේ පුරුදු කරේ' ඇය සිත හදා ගත්තේ සඳුනී තනිව වාඩි නොවිය යුතු බව තීරණය කලේ තමාම බැවිනි. එහෙත් එයට හේතුව තවදුරටත් කෙසේවත් හේතුවක් නොවිය.
රිදී තිබූ හිත තවත් රිදුනේ දිනක් ඇය අසංක අයියාට ලියූ ලිපියක් කියවූ පසුය.
'...තරූ තරිඳු අයියාට කැත කතාවක් කිව්වා. මොකක්ද කිව්වේ කියලානම් කියන්න බෑ. ඒකනම් අමුම අමු කුණුහරුපයක්...'කමක් නැත. අවුරුදු 17ක කෙල්ලෙක් කැත කතාවක් කීවා යන්න විශේෂයක් වේයයි ඇයට හිතුනේ නැත.
'...මධුෂිත් ලොකු අත්තක් අල්ලා ගන්න ඕනලු...දැන් අනුන්ගේ කතා ඇති. ...' තරූගේ හිත මහත් කම්පාවට පත් විය. තමාගේ ආදරණීය මිතුරියට, තමාගේ දකුණු අතට තරූ පිට කෙනෙක් බව කියා ඇත. ඇයට මහා දුකක් දැනුනි.
"මධුෂිත් ලොකු අත්තක් අල්ලා ගන්නවා කියන්නේ දැන් මං ලොකු අත්ත අල්ලගෙන වගේනේ." කලකිරීම නොපෙන්වා ඇය කීවාය.
...
...
"ඊයේ අම්මයි මමයි ටවුන් ගිහින් එනකොට තරිඳු අයියාත් ඇවිත් ඒ බස් එකට නැංගනේ." නැවතත් දිනක් සඳුනි තරිඳු අයියා පැමිණි කතාවක් පටන් ගත්තාය.
"වෙලාවට අම්මාට පිටිපස්සේ සීට් 1ක් ලැබුනා. එතකොට මිනිස්සු පිරුනම අම්මාට මාව පේන්නෙ නෑනේ. මං තරිඳු අයියාත් එක්ක බස් එකේ මැදට ගිහින් කතා කර කර අවා." අනෙක් යෙහෙළියන්ට ඔහු ගැන ඇසුන විට ඒ සඳුනීගේ නැන්දාගේ පුතා වූවාට ඇගේ මවට  එසේ ඥාති පුතෙකු නැති නිසා ඇය හොරෙන් ඔහු සමඟ කතා කර තිබුනි.
"එයා අලුතෙන් මොබයිල් එකක් අරන්,ඒක පෙන්නුවා"
"පිටේ එල්ලන බෑග් එකක් අරන් ආවා"
"ඒකෙ පොල්ලු"
"මොකක්?"තරූ තිෂ්නිම්භූත වූවාය.
"බෑග් එකේ පොල්ගෙඩි තුනක්ලු. පොල් නැති යාලුවෙක්ට ඒක දීලා එහේ නවතිනවා කිව්වෙ"
"මේකා කුරුණෑගල ඉදලා පොල් ගෙඩි තුනක් බෑග් එකේ දාගෙන ඇවිත්ද"සිනාව නවතා ගත නොහැකි වූ තරූගේ ඇස් දෙකෙන් කඳුළු පිටවිය.
"එය මගින් බැස්ස සංක අයියලා නැතුව එහේ නවතින්න බෑ. හවසට ඇන්ටි බලලා එන්න යනවා කියලා. මං කිව්වා මාව සෙනග පිරිච්ච බස් එකේ මැදට එක්ක ආවානම් එක්ක යනවා දොර ලඟට කියල. බෑග් එක මට දීලා මේකා මට කියනවා එහෙනම් මේකත් අරන් පස්සෙන් එනවා කියල. මන් කෑ ගැහුවා මට පොල් මල්ලක් උස්සගෙන එන්න බෑ කියලා. ඒ පාර මට බැන බැන බෑග් එකත් අරන් දොර ලඟට එක්ක ආවා."
ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇදලා රබර් සෙරෙප්පු දෙකක් දා ගත්ත කොල්ලෙක්... සල්ලි තිබුනත් සල්ලිවලින් ඔළුව ඉදිමී නැති පිස්සෙක්... තරූගේ සිතේ පාට පාට මල් පිපී ලස්සන චිත්‍රයක් ඇදෙන්නට විය.
 
Wordpress Theme by wpthemescreator .
Converted To Blogger Template by Anshul .